මැයි 26, 2025
tami eng youtube  twitter facebook

    විදුලි කප්පාදුව සිදු වන්නේ දත්ත මත පදනම් ව සහ විවිධ ආයතනවලින් සොයා බැලීමෙන් අනතුරුවයි-සභාපති මහජන උපයෝගීතා කොමිසම

    ජනවාරි 25, 2022

    ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (25) මාධ්‍යයට හෙළි කරන බව (24)කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    විදුලි කප්පාදුවක් සිදු කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය අවස්ථා කිහිපයකදී ඉල්ලීම් ඉදිරිපත් කළද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් එසේ අනුමැතිය ලබා දෙන්නේ විදුලි කප්පාදුවක් අවශ්‍යමද යන්න දත්ත මත පදනම් ව සහ විවිධ ආයතනවලින් සොයා බැලීමෙන් අනතුරුව බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    විදුලි කප්පාදුවක් සිදු කිරීමේ සම්පූර්ණ බලතල පවතින්නේ තම ආයතනයට බව පෙන්වා දෙන ඒ මහතා විවිධ පාර්ශ්ව මේ මොහෙතේ විදුලි කප්පාදුවක් පිළිබඳව අසත්‍ය පුවත් පතුරන බවත් එසේ නිවේදනය කිරීමේ බලතල සහිත එකම ආයතනය මහජන උපයෝගීතා කොමිසම බවත් ඒ මහතා අවධාරණය කළේය.
    දේශපාලන අධිකාරිය මැදිහත්ව 24) තීරණ කිහිපයක එළඹි බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයට‌ ගෙවිය යුතු රුපියල් බිලියන 92ක මුදල ගෙවීමට භාණ්ඩාගාරයට නියෝගයක් ලබා දී ඇති බැවින් ඉන්ධන මිලදී ගැනීමට ඉන් හැකි වනු ඇති බවත් පෙන්වා දේ.තවද ලංකා විදුලිබල මණ්ඩලයට තෙල් ලබාදීමටද පියවර ගත් බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීම අනවශ්‍ය බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
    විදුලි කප්පාදුවක් පිළිබඳව කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමට වෘත්තීය සමිතිවලට කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කරන ඒ මහතා එවැනි ප්‍රකාශවලින් ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බවත් පෙන්වා දේ.
    ඉන්ධන හිඟකම හේතුවෙන් පසුගිය දිනවල ජලවිදුලි බලය විදුලි උත්පාදනයට යොදා ගත් බව පවසන රත්නායක මහතා ඒ හේතුවෙන් ජල මූලාශ්‍රවල ජලය අඩු වීමක් ඇති බව පැවසීය. අක්‍රිය තත්වයේ පවතින නොරොච්චෝල බලාගාරය ඉදිරි දින දිනවලදී යථා තත්වයට පත්කිරීමට හැකි බැවින් එහි තුන්වන කොටසින් නැවතත් මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි වේ.
    ලංකා විදුලිබල මණ්ඩලය අද ඉල්ලීමක් කරමින් ජනවාරි මස 25 වැනි දින සිට පෙබරවාරි මස 4 වැනි දින දක්වා දෛනික විදුලි කප්පාදුවකට අවසර දෙන ලෙස ඉල්ලා සිටියද මහජන උපයෝගීතා කොමිසම කිසි විටෙක එකදිගට විදුලි කප්පාදුවකට අවසර නොදෙන බවත් එසේ ලබා දෙන්නේ දිනෙන් දිනට බව පෙන්වා දෙන රත්නායක මහතා පසුගිය 14, 15 , 16 දිනවල විදුලිය කප්පාදු කිරීම සිදු කළේද අවශ්‍යතාවය මත සළකා බැලීමෙන් අනතුරුව බවත් පැවසීය.
    ශ්‍රී ලංකාව ඇතුළත කර්මාන්තශාලා , හෝටල් , විශාල ගොඩනැගිලි ආශ්‍රිතව විදුලි ජනන යන්ත්‍ර සැළකිය යුතු ප්‍රමාණයක් පවතින බව පෙන්වා දෙන රත්නායක මහතා මෙම අවස්ථාවේ එමගින් විදුලිය ජනනය කිරීමට කළ ඉල්ලීම එම විදුලි ජනන යන්ත්‍ර හිමිකරුවන් එකඟ වූ බවද කියා සිටියේය.
    වර්ෂ 2014න් පසුව කිසිදු මහා පරිමාණ විදුලි ව්‍යාපෘතියක්හෝ ආරම්භ කර නොමැති බව අවධාරණය කරන ඒ මහතා කියා සිටියේ සාම්පූර් බලාගාරය ඉදිකළේ නම් ඉන් මෙගාවොට් 500ක් ජාතික විදුලි පද්ධතියට එක් වනු ඇති බවත් එම ප්‍රමාණය සැළකිය යුතු ප්‍රමාණයක් වන බවත්ය.විදුලි අර්බුදය සඳහා දීර්ඝකාලීන සැළසුම්වල අවශ්‍යතාවයද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
    මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පිළිබඳව අවධානය යොමු කරන බවත් ඒ අනුව නිවෙස්වල පියසිමත සූර්යබල පද්ධති 40000ක් පමණ ස්ථාපිත කර ඇති බවත් පැවසීය.සූර්යබලය යොදා ගැනීමේදී රාත්‍රියට මෙගාවොට් 500ක් පමණ අහිමි වන බව පවසන ඒ මහතා රාත්‍රියට ජලවිදුලියෙන්ද දිවා කාලයේදී පුනර්ජනනීය බලශක්තියෙන්ද විදුලිය නිපදවීමෙන් එම ගැටලුව විසඳීමට හැකි වනු ඇති බවද පෙන්වා දේ.
    මේ වන විට සිට විදුලි බිල ගෙවීම පැහැර හැරි පාරිභෝගිකයන් විශාල පිරිසක් සිටින බව පවසන ඒ මහතා එමගින් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ මුදලක් අහිමි වී ඇති බව පෙන්වා දේ.එබැවින් මෙම මාසයට අදාළ විදුලි බිල ගෙවා හිඟ මුදල වාරික තුනකින් ගෙවා නිම කරන ලෙස ද ඒ මහතා පාරිභෝගක ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya