මැයි 25, 2025
tami eng youtube  twitter facebook

    කහ අස්වැන්නෙන් රට ස්වයංපෝෂිතයි- රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

    ජනවාරි 25, 2022

    කහ අස්වැන්නෙන් අද වනවිට රට ස්වයංපෝෂිත වී ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

     අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් බෙදා දීමේදී ඇතැම් ජනතාවත්, සමාජ මාධ්‍යත් එය උපහසයට ලක් කළ බවත්, පසුගිය කාලයේ අමාත්‍යවරු සීතල කාමර වලට වී කටයුතු කළ නමුත් අද රජයේ සියළුම අමාත්‍යවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් ගමින් ගමට ගොස් ජනතා සේවය සිදු කරන බවත් කී අමාත්‍යවරයා අද රාජ්‍ය ආයතන රැසක් ලාභ ලබන ආයතන බවටද පත්ව ඇති බවද සඳහන් කළේය.

    පසුගිය රජය සමයේ ජාතික ආරක්ෂාව ඇඳ වැටී සංචාරක ක්ෂේත්‍රය කඩා වැටුණ බවත් අතිගරු ජනාධිපතිතුමා ක්‍රමානුකූලව එය ගොඩනගමින් පවතින බවත් පැවසූ අමාත්‍යවරයා අපනයන ආදායම් වැඩිකර ආනයන අපනයන පරතරය අඩුකර ගොඩනගන ආර්ථිකයේ ප්‍රතිඵල හිමිවන්නේ අද නොවේ අනාගතයේදී බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශය තුළ අද බුලත් අපනයන ගම්මාන, මල් අපනයන ගම්මාන බිහිකර ඇති බවත්, කාබනික පොහොර සියයට සියයක් යොදා ගනිමින් වගා කළ කෙත්වතු වල අස්වැන්න මේ වනවිට නෙළමින් වී කිලෝවක් රුපියල් 70 ත් 80 ත් අතර මුදලකට අලෙවි කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ''සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් ''ගොවියාට උපරිම මිලක් - පාරිභෝගිකයාට සහන මිලක්'' යටතේ ගොවි ජනතාවගේ කහ අස්වනු මිලදී ගැනීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිණි. උක්, බඩඉරිඟු, ගම්මිරිස්, කුරුඳු,කරාබු නැටි, බුලත් ඇතුළු කුළු බඩු වැවිලි භෝග ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය කිතුල්වල, පිටදෙණිය විද්‍යාකර පිරිවෙන් විහාරස්ථානයේ දී මෙය පැවැත්විණි.

    උක්, බඩඉරිඟු, ගම්මිරිස්, කුරුඳු,කරාබු නැටි, බුලත් ඇතුළු කුළු බඩු වැවිලි භෝග ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාවට නංවන අතර ලංකා කුළුබඩු අලෙවි මණ්ඩලය විසින් ⁣ගොවින්ගෙන් කහ මිලදී ගනු ලබයි. ඒ අනුව සමාරම්භක උත්සවයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයෙන් කහ කිලෝගෑම් 20,000 රජයේ සහතික මිල වන රුපියල් 165 කට අද සිට මිලදී ගන්නා ලදි. ගොවීන්ගෙන් ලබාගත් කහ අස්වනු වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.

    මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී තරංග ජයසිංහ මහතා, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී. දිස්නා මෙනෙවිය, ලංකා කුළුබඩු අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්මිය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) උපුල් රණවීර මහතා, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී. කුමාරී මහත්මිය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya