පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    කම්කරු අණපනත් අන්තර්ජාලයට එක් කිරීම වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විශාල පහසුවක් - කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    ජනවාරි 29, 2022

    රටේ පවතින ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ අර්බුද හේතුකොට ගෙන කම්කරු ජනතාව අත්විඳින අයිතිවාසිකම් කප්පාදු කිරීමට ඉඩ දිය නොහැකි බවත්, රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය විසින් කම්කරු අණ පනත් අන්තර්ජාලයට එක් කිරීම මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විශාල පහසුවක් බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කම්කරු දෙපාර්තමේන්තුවට අදාළව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අණපනත්,රෙගුලාසි හා නියෝග අන්තර් ජාලයට එක් කිරීම සඳහා පසුගිය දා(26) පෙරවරුවේ කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයක් අමතමිනි.

    ආර්ථික අර්බුදයක් හෝ වෙන කුමන අර්බුදයක් රට තුළ පැවතියද එම කිසිදු අර්බුදයකට යට නොවී කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් හා සුභසාධනය පිළිබඳ වැඩිම අවධානයක් යොමු කර ඔවුන්ට ඉහළම සාධාරණයක් ඉටු කළ යුතුව ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, කම්කරු නඩුවලදි හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ඉහලම නීති දැනුමක් සහිතව පැමිණ හාම්පුතුන් වෙනුවෙන් සටන් කරද්දී කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින කම්කරු නිලධාරීන් ද ඔවුන් සමග කරට කර සටන් කිරීමට කම්කරු අණ පනත් නීති රීති පිළිබඳව ඉහළම දැනුමින් සන්නද්ධවීම අත්‍යවශ්‍ය කරුණක් බවය.

    ඒ අනුව, මෙරට කම්කරු අණපනත් පිළිබඳ මෙවැනි වෙබ් අඩවියක් කම්කරු නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී නිර්මාණය කොට පවත්වාගෙන යාම ඉතාමත්ම අගය කළ යුතු කාරණයක් බවත්, එය ඔවුන්ගේ වෘත්තීය වගකීම ඉක්මවා යමින් ස්වෙච්ඡාවෙන් ඉටු කිරීම ඉතාමත්ම ඉහළින් අගය කරන බවත් ඇමැතිවරයා මෙහි දී පැවසීය.

    කම්කරු ජනතාව වෙනුවෙන් කළ හැකි ඉහළම සේවය කිරීමට අප සියළු දෙනා ඇපකැප විය යුතුයි. කම්කරු නිලධාරීන් නීතියෙන් දැනුමෙන් හා ක්‍රියාකාරිත්වයෙන් ශක්තිමත් වෙමින් කම්කරු ජනතාවට තිබෙන ප්‍රශ්න ගැටලු සහ ඔවුන්ගේ ආරවුල් පිළිබඳ ලිපිගොනු කඩිනමින් අවසන් කිරීමට පියවර ගත යුතු බව ද ඇමැතිවරයා මෙහි දී අවධාරණය කළේය.

    වර්තමානයේ කම්කරු නිලධාරීන් 128 දෙනකුගේ දෙනකුගේ හිඟයක් පවතින අතර ඔවුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇත. ඒ අනුව කඩිනමින් විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම බදවා ගැනීමේ විභාගය පවත්වා එම නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    රාජ්‍ය සේවා කම්කරු නිලධාරි සංගමයේ www.gsloa.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම කම්කරු අණ පනත් හා රෙගුලාසි සියල්ලම අන්තර්ජාලයට එක් කර ඇත. ඒ අනුව ඉදිරියේදී මෙරට කම්කරු අණපනත් පිළිබඳ තොරතුරු සොයන ඕනෑම අයකුට මෙම වෙබ් අඩවිය හරහා මෙතෙක් ශ්‍රී ලංකාවේ පැනවී ඇති කම්කරු පනත් හා රෙගුලාසි පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරි සංගමයේ සභාපති යූ.එන්.කේ. ගමගේ මහතා මෙහි දී පැවසීය.

    මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ.මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ කම්කරු නිලධාරි සංගමයේ නිලධාරීහු ද එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya