පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය හිමිවන ආකාරයෙන් බෙරගල නගරය සංවර්ධනය කෙරේ.

    ජනවාරි 29, 2022

    “සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඌවේ ප්‍රධාන ආර්ථික වෙළද මධ්‍යස්ථානයක් වන හපුතලේ නගරයේ කඳු පාමුල පිහිටි බෙරගල නගරය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කටයුතු මේ වන විට කඩිනමින් අවසන් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරිණ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන ව්‍යාපෘති සිදු කරනු ලබයි.

    ප්‍රමාණයෙන් කුඩා තුන්මංහන්දියක් සහිත නගරයක් වූ බෙරගල ඌව පළාතේ ප්‍රධාන නගර තුනක් ආශ්‍රිත ප්‍රදේශ තුනකට විහිදෙන මාර්ග තුනක් සහිත සංචාරක නගරයකි.

    බෙරගලින් ඉහළට දිවෙන හපුතලේ කන්ද පාර, ගැල් යුගයේ ප්‍රසිද්ධ කරත්ත කවි අදටත් සිහිකරමින් බණ්ඩාරවෙල, බදුල්ල, ඇල්ල, වැල්ලවාය තෙක් දිවයයි.

    බෙරගලින් පහළට දිවෙන පාර බෙලිහුල් ඔය, පඹහින්න, බලංගොඩ, රත්නපුර හරහා කොළඹ දෙසට ගමන් කරයි.

    බෙරගලින් හරස් අතට දිවයන මාර්ගය දියලුම දිය ඇල්ල හරහා වැල්ලවායට දිවයයි.

    වැල්ලවාය නගරයෙන් උඩහට දිවෙන මාර්ගය මොණරාගල හරහා අම්පාර දෙසටත්, වැල්ලවායෙන් පහළට දිවෙන මාර්ගය තණමල්විල නගරයෙන් තවත් ප්‍රධාන ප්‍රදේශ දෙකකටත් විහිදෙයි.

    ඒ ප්‍රසිද්ධ උඩවලව වැව් බැම්ම හරහා පැල්මඩුල්ලෙන් බදුල්ලට සහ රත්නපුරයටත් එතැනින් කොළඹ දෙසට සහ ඇඹිලිපිටියෙන් කතරගම ප්‍රදේශ දක්වායි.

    තණමල්විලෙන් විහිදෙන අනෙක් මාර්ගය බුත්තල හරහා ප්‍රසිද්ධ යාල අභය භූමි සීමාවෙන් කතරගම දක්වාත් එතැනින් කොළඹ දෙසටත් ගමන් කරයි.

    මේ අනුව බෙරගල ප්‍රමාණයෙන් කුඩා නගරයක් වුව ද, ලංකාවේ ප්‍රධාන නගර පද්ධතිය රටේ සියලු පළාත්වල මාර්ග පද්ධති සම්බන්ධ කරමින් මගී සහ භාණ්ඩ ප්‍රවාහනයේ සුවිශේෂී මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරයි.

    සැගවුණු වටිනාකම් සහිත බෙරගල නගරය සංවර්ධනය යටතේ නගරයේ තිබූ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කෙරිණ.

    මෙතෙක් නගරයේ පැවති කුඩා ඉඩ ප්‍රමාණයක නවතා තිබූ රථවාහන ගණන ඉහළ දැමීම සඳහා එම ඉඩකඩ පුලුල් කෙරිණ. එම ස්ථානය සහ නගර ප්‍රදේශය බිම් ඇතුරුම් ගල් අල්ලා සැකසීම ද සිදුකෙරිණ.

    බෙරගල සිට හපුතලේ දක්වා දිවෙන වංගු සහිත කදුකර මහා මාර්ගයේ තෝරාගත් ස්ථාන 03 ක ප්‍රපාතය පැත්තට වන්නට ආරක්ෂිත විවෘත නැරඹුම් මැදිරි 03 ක් ද සකස් කෙරිණ.

    ඒ කුඩා මැදිරි 02 ක් සහ ලොකු මැදිරි 01 වශයෙනි. ප්‍රපාතය පැත්තට ඇති කවාකාර සීමාවේ ආරක්ෂිත වැටක් ලෙස අඩි 02 ක උස ප්‍රමාණයට රෝස ගස් සිටුවීම ද මේ යටතේ ම සිදුකෙරිණ.

    මෙම නැරඹුම් මැදිරි තුළ සිට නැරඹීමේ දී බෙරගලින් පහල ප්‍රදේශය තුන් ආකාරයකට පුළුල්ව දැකගැනීමට අවස්ථාව හිමිවෙයි. ඒ බිම් මට්ටමේ සිට සිදුකරන නැරඹීම, මැද බිම් මට්ටමේ සිට සිදුකරන නැරඹීම සහ ඉහළ බිම් මට්ට්මේ සිට සිදුකරන නැරඹීම ලෙසිනි. මෙතෙක් පාර දෙපස එක් එක් ස්ථානයන්හි සිට අපිළිවෙලට කළ නැරඹීම් වඩාත් ආරක්ෂාකාරී ලෙස සිදුකිරීමට අවස්ථාව මෙමඟින් හිමිව තිබේ.

    නගරයට මෙතෙක් අඩුවක්ව තිබූ කාන්තා, පිරිමි සහ ආබාධිත පුරවැසියන්ගෙන් වෙන් වූ පොදු වැසිකිලි පද්ධතියක් ද ගොඩනැගිණි.

    බෙරගල නගරය සංචාරකයන් සඳහා වටිනා තෝතැන්නක් ලෙස ක්‍රියාකරයි. ලංකාවේ ප්‍රධාන දිය ඇලි රැසක් නැරඹීමේ අවස්ථාව බෙරගල නගරය තුළින් උදා වී තිබේ.

    හපුතලේ ලිප්ටන් තේ වත්ත, බලංගොඩ සමනල වැව, ලෝකාන්තයේ කෙළවර පිහිටි නන්පේරියල්වත්ත ගම්මානය, දියතලාවේ නරියා කන්ද රථ ධාවන පථය, සුන්දර බෙලිහුල් ඔය දිය ඇල්ල, වැල්ලවාය පාරේ දියලුම දිය ඇල්ල, බෙරගල සමීපයේ පිහිටි ලංකාවේ උසම බඹරකන්ද දිය ඇල්ල, හෙළ මානව උරුමයන් තහවුරු කළ හල්දුම්මුල්ල පුරාවිද්‍යාත්මක කැනීම් භූමිය, ඉදල්ගහහින්න දුම්රිය ස්ථානය, අඹේවෙල ගොවිපොළ ඇතුලු කළාපයක සංචාරය කිරීමට බෙරගලට යන සැමට අවස්ථාව හිමිවෙයි.

    මෙවැනි වටිනාකමක් හිමි බෙරගල කුඩා නගරය, විකෘති නොකර, මෙතෙක් පැවති භූමි සැලැස්ම සහ පරිසර තත්ත්වය ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රදේශවාසීහු රජයට දැඩි ප්‍රසාදය පළකර සිටිති.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya