පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    එන්නත්කරණයට වසරයි- ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය ජයගනිමින් සිටිනවා - සෞඛ්‍ය ඇමති

    ජනවාරි 29, 2022

    ත්‍රස්තවාදී උවදුර පරාජය කර රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් අයුරින් ගෝලීය ව්‍යසනය පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය මේ වන විට ජයගනිමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය භාරගත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආභාෂය ලැබූ වත්මන් ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යසනය පැරදීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව අමාත්‍යවරයා කීය.

    මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර අදට වසරක් සපිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (29) පැවති ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය. සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙහි ප්‍රධාන වැඩසටහන පැවති අතර එහිදී පෙ.ව. 10.06 ට ආශිර්වාදාත්මක පහන් දල්වමින් ජනතාවට සෙත් ප්‍රාර්ථනා කළහ. එමෙන්ම මියගිය පිරිස් වෙනුවෙන් නිහඬතාවයක් රැකීමද සිදු විය.මෙයට සමගාමීව දිවයින පුරා පළාත්, ප්‍රාදේශීය මට්ටමින් මේ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

    නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති , බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් මෙහිදී බෞද්ධ ආගමික වතාවත් සිදු කළ අතර , හින්දු ,ඉස්ලාම්, කතෝලික ආගමික නායකයන් එම ආගමික වතාවත් සිදු කළහ.

    යුද්ධයේ අවසන් දින කිහිපය තුළදී පවා මෙරටට පැමිණි ඇතැම් විදෙස් නායකයින් එය පරාජය කළ නොහැකි බැව් කීවද එය පරාජය කිරීමට හැකි වූ බවත් , එම ජයග්‍රහණයේ ප්‍රබල සාධකයක් වූ වත්මන් ජනාධිපතිවරයාට එම ආභාෂය තුළ මෙම ව්‍යසනය පරාජය කිරීමට මහත් ශක්තියක් හා ආත්ම විශ්වාසයක් පවතින බව අමාත්‍යවරයා කීය.

    ජනාධිපතිතුමන් කොවිඩ් පාලනයට මෙන්ම එන්නත්කරණයට දැක්වූ ඉහළ උනන්දුව මෙන්ම ඒ තුළ තිබූ දැඩි ආත්ම විශ්වාසය රටෙහි කොවිඩ් පාලනයට මෙන්ම එන්නත්කරණයට ප්‍රබලතම සාධකය වූ බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. ව්‍යසනය තුළ එන්නත්කරණය ප්‍රමුඛතම විසඳුම ලෙසින් ඉදිරියට ගෙන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමන් ගනු ලැබූ දූරදර්ශී තීරණය නොවන්නට රට වෙනස් තත්ත්වයකට පත්වන්නට තිබුණේ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. එදා ඇතැමුන් දේශපාලන වේදිකාවේ මෙය අධෛර්යමත් කිරීමට ගෙනගිය වැඩපිළිවෙලට ජනාධිපතිතුමන් නිහඬව පිළිතුරු ලබා දෙමින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


    මෙහිදී අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

    ලොව පළමු කොවිඩ් රෝගියා වූහාන් වලින් වාර්තා වන විට ලෝකය එය එතරම් බැරෑරුම් ලෙස සැළකුවේ නැහැ. අනතුරුව මේ පිළිබදව දැඩි අවධානය යොමු කරනු ලැබුවා. චීන ජාතික කාන්තාවක් මෙරට දී ආසාදිතයෙකු බවට පත්විමත් සමග මෙරටින් වාර්තා වූ පළමු රෝගියා ලෙස සංචාරක මඟපෙන්වන්නෙකු ආසාදිතයෙකු බවට පත්වීමේ සිට මේ දක්වා ගෝලිය ව්‍යාප්තිය තුල අප රටක් ලෙස විශාල අභියෝගවලට මුහුණ දුන්නා. එයට හේතුව මේ පිළිබදව ලෝකයට මෙන්ම අපටද අත්දැකීම් නොමැතිවීමයි. මෙයට පෙර ඇතැම් ව්‍යසන හමුවේ ලොව සමහර රටවලින් අපට සහාය ලැබුණා. නමුත් මෙම ව්‍යසනය බොහෝ රටවල ව්‍යාප්තියත් සමග අපට දැඩිව, තනිව මෙයට මුහුණ දීමට සිදු වුණා.

    සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මා පත්වීමට පෙර ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ පටන් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා සදහා නිරන්තරයෙන් සම්බන්ද විය. ඒ තුල ව්‍යසනය පරාජයටත්, එන්නත්කරණය පිළිබදව ජනාධිපතිතුමා තුල තිබූ උනන්දුව සහ දැඩි ආත්ම විශ්වාසය හොදාකාරවම දුටුවා. විශේෂයෙන් උනන්දුව හා ආත්ම විශ්වාසය මෙවැනි ව්‍යසන පරාජයට ප්‍රමුඛ සාධකයකි. එදා ඇතැම් දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවේ පළමු පැය මෙයට චෝදනා එල්ල කරමින් අදෝනා නගන්නට වුණා. නමුත් අද වන විට සාර්ථක එන්නත්කරණය සහ කොවිඩ් වෛරසය පාලනය තුල ජනතා ජීවිත සුරක්ෂිත කොට තිබෙනවා.

    රටවල් ගාණේ එන්නත් සිඟමනේ යනවා, එන්නත් ලක්ෂ හයක් වසංගතය පාලනයට මදි, කොරෝනා මර්දන දිනය හරියට කියන්න බැරිනම් අස්වෙලා ගෙදර යන්න. එන්නත්කරණය අයාලයේ යනවා මෙවැනි ප්‍රකාශ කරමින් එන්නත්කරණ වැඩපිළිවෙල අධෛර්යමත් කිරීමට විවිධ උපක්‍රම යෙදුවා. නමුත් ජනාධිපතිතුමාගේ දැඩි විශ්වාසය තුල ගොඩනැගුණ වැඩපිළිවෙලට සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරින්ගේ සිට සුළු සේවකයා දක්වා භාරගත් අභියෝගය හේතුවෙන් මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කළා. ව්‍යසනය ආරම්භ වන විට මෙරට පර්යේෂණාගාර 04 යි තිබුණේ. ඒ වෙනුවෙන් ඇඳන් 05 ක් වෙන් කර තිබුණා. නමුත් ඉතා කෙටි කාලයක් තුල එම ප්‍රමාණය ඉහළට ගෙනඒමට අපට හැකි වුණා. ව්‍යසනය තුළ ඇතැම් රටවල වෛද්‍යවරුන්, හෙදියන් සේවයට වාර්තා කළේ නැහැ. ඔවුන් පැත්තකට වී සිටියා. නමුත් අපේ රටේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම තරාතිරකම පිරිස් ගෞරවනීය කැප කිරීමක් මෙන්ම ඉහළ සේවාවක් ඒ වෙනුවෙන් ඉටු කළා. අවධානම පැත්තක දමා ඔවුන් රාජකාරී කළා. ඔවුන් වගකීම අතහැර ගියේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් පාලනය කළ හැකි වුණා. මේ වන විට ඉළක්ක ගත ජනගහනයෙන් සියයට සියයකට පළමු එන්නත ලබාදී ඇති අතර 94% කට දෙවන එන්නත ලබාදීමටත්, වයස 12-15 අතර 92% කට දෙවන එන්නත ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීමේ වැඩපිළිවෙලේ දී ජනාධිපතිතුමා විශ්වාස කළ ප්‍රභලම සාධකය එන්නතයි. මරණ අඩුවීම, ව්‍යාප්තිය අඩුවිම පිළිබදව ජනාධිපතිතුමන් දැඩි විශ්වාසයෙන් පසුවූවා. ඒ වෙනුවෙන් එතුමා කිසිදු පැකිළීමකින් තොරව ක්‍රියාත්මක වුණා. එන්නත්කරණය ආරම්භ කර වසරක් තුළ ලොව පළමු රටවල් 05 අතරට එක්වෙමින් රටේ ජනතාවට ඉහළ ආරක්ෂාවක් ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා. එන්නත්කරණයට වසරක් සිපිරෙන මේ මොහොතේ ඒ වෙනුවෙන් කැපකිරීම් කළ සියළු දෙනා අපේ පමණක් නොව ජාතියේම ඇගවීමට ලක්විය යුතුයි. මේ වන විට තුන්වන එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබාදිම ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙල කඩිනම් කර ව්‍යසනය පාලනය කිරිම මෙන්ම තමන් හා අනෙකුත් පිරිස් ඉන් මුදවා
    ගැනීමේ වගකීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. මේ රටේ ජනතාව ඒ වෙනුවෙන්එදාමෙන් අදත්, අද මෙන් හෙටත් එම වගකීම ඉෂ්ඨ කරනු ඇති බව අප බලාපොරොත්තු වෙමු.

    පැපිලියාන සුනේත්‍රාදේවි මහාපරිවෙණාධිපති රාජකීය පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

    අපේ රණ විරුවෝ සුව විරුවෝ ගැන කියද්දී වැඩේ කරන තුරු අපෙන් එකෙකි ඒ මිනිසා කීවා. මාධ්‍ය වල උස් ආකාරයේ දෙවල් ප්‍රචාරය කළා. වැඩේ අවසන් වූ පසු ඒ ගැන කතා කරන්නේ නැහැ. අපේ ඉලක්ක අරමුණු බලාපොරොත්තු අපේ සටන් පාඨ වෙනස් වෙලා යනවා. එ්ක ලෝක ස්වභාවය. සාමාන්‍යයෙන් ලෝක ස්වභාවය තමයි එක්කෙනෙකුගෙන් ප්‍රයෝජනයක් ලබාගන්නා වෙලාවක දී ඒ පුද්ගලයා ඉතා ඉහළින් සැළකීම. ඒ වගේම එම ප්‍රයෝජනය අවසන් වූ පසු පැත්තකට විසි කරන එක. දත් මැදලා ඉවත දමන දැහැටි දඩු මෙන් වැඩගත් මිනිසුන් පැත්තට දමන එක අපේ සමාජයේ සමහරුන්ගේ ලක්ෂණයක්. රණවිරුවන් ගැන කථා කිරීම රණවිරු ගාය කීවා. එලෙස කල්පනා කිරිම අභාග්‍යයක්. හැබැයි මෙතන මතක තියාගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි මේ තත්ත්වය උදා වූ වෙලාවේ සමහර අය වීඩියෝ පළ කලා රටෙන් භාගයක් විකුණලා හරි කමක් නැහැ එන්නත ගහපල්ලා කියා. එබදු තත්ත්වයක් තිබුණු එක ජනාධිපතිතුමා තමන් පෞද්ගලිකවම සම්බන්ධ වෙලා මේ එන්නත් ක්‍රියාවලිය සිදු කළා. කියන්න කණගාටුයි එන්නත්කරණයේ දී කොළඹ තෝරා ගත්තොත් කොළඹ අයට ගහනවා කීවා. හම්බන්තොට තෝර ගත්තොත් හම්බන්තොට අයට ගහනවා කීවා. වෙන පැත්තකට ගැහුවොත් එහාට වෙන එකක් කීවා. රටක ජාතික අභීයෝගයක් ඉදිරියේ දී වැටෙන් රිගලා එන්නත් විදගත් එක සමහරුන්ට ජාතික ගැටළුව වුණා. ඒ වගේ සමහර දේවල්ජාතික ගැටළු බවට හුවා දක්වමින් අද යම් යම් ආකාරයේ බරපතල ලෙස රට අගාධයකට ඇදගෙන යන වැඩපිළිවෙළක් තිබෙනවා.

    මේ රට වෙනුවෙන් රටේ ජනතාව සුරක්ෂිත කිරිම වෙනුවෙන් සිදු කරන ලද මෙහෙවර මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් කරන ලද මහගු මෙහෙවරක් හැටියට විශේෂයෙන්ම අගය ළෙ යුතුයි. කොවිඩ් ආසාදිතයෙක් දුටුවිට පාරේ අනෙක් පැත්තෙන් යන මිනිසුන් ඉන්න රටක ඔවුන් වෙත ගොස් ඔවුන්ගේ සුව පහසුව සළකා ඔවුන් නිරෝගී කීරීමට කටයුතු කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුළු ඒ සදහා කැපවූ සියළු දෙනා ඇගයිමට ලක් විය යුතුයි. එන්නත්කරණයට වසරක් පිරිනෙ වෙලාවේ ජනතාව හා රට බේරා ගැනීම සදහා සෞඛ්‍ය ආරක්ෂා කිරිම සදහා, එන්නත ලබාදීම සදහා ආරම්භ කළ මේ ගමනේ ඒ වෙනුවෙන් ඇප කැප වූ සියළු දෙනාට ආශිර්වාද කිරීමට මෙවන් උත්සවයක් සංවිධානය කිරිම ඉතා හරවත් කාරණයක්.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා,

    කොවිඩ් වසංගතය අපේ රටට පමණක් නොවෙයි මුළු ලෝකයටම සහ සියළු ජන කොටස් මහත් අසීරුතාවයට ලක් කළ කාල වකවානුවක්. බටහිර දියුණු ජාතීන් මෙන්ම බලවතුන් පවා අසූරු තත්ත්වයට පත් කළා. රෝගීන් වාර්තාවීම ජිවිත අහිමිවීම අපේ සමාජයට දරා ගත නොහැකි වුණා.කොවිඩ් පිළිබද ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායක් පිහිටුවා කටයුතු කඩිනම් කළා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අනෙකුත් ආයතන හා එකාබද්ධව 2020 මුල විට විශාල කාර්යභාරයක් සිදු කරමින් පවතිනවා. සෞඛ්‍ය ආරක්ෂිත වත් පිළිවෙත් වලට අමතරව එන්නත්කරණය මගින් මෙම රෝගයේ අනතුරුදායක බව අවම කිරීම සදහා මහත් පිටුවහලක් ලබාදුන්නා.

    ලෝකයේ සෑම රටක්ම එන්නත් පිපාසයෙන් පෙළෙද්දී අපේ රටට එන්නත් ලබාගැනීම සදහා ජනාධිපතිතුමා සෘජුවම මැදිහත්වුණි. 2021 ජනවාරි 29 වන දා ඇරඹුණු එන්නත්කරණ වැඩපිළිවෙල පුරා වර්ෂයක කාලයක් රට පුරා ක්‍රියාත්මක කළා. අපගේ ජනතාව ආරක්ෂා කිරීම සදහා අසීමිත සේවාවක් දියත් කළා. මේ සදහා ත්‍රිවිධ හමුදාල ලබාදුන් දායකත්වය අනගිභවනීයයි. කොවිඩ් පාලනයට හොදම විකල්පය වන එන්නත්කරණය ආරම්භ කළා. අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුවත් එන්නත්කරණයෙන් අප ලබා ඇති ප්‍රගතිය බොහෝ දියුණු රටවලටත් වඩා ඉහළින් සිටින බව පැවැසිය හැකියි. කොවිඩ් හේතුවෙන් අප අතරින් සමුගත් අපේ සහෝදර ජනතාවට පිං පැමිණවීමටත්, මෙම වසංගතය මැඩලිම සදහා තම පෞද්ගලිකත්වය නොතකමින් දැඩි කැපවිමකින් සේවයකළ සියළු දෙනාට ආශිර්වාද කිරීමටත්, ඔවුන් අගය කිරිමටත් ඔවුන්ට කෘතගුණ දැක්වීම සදහාත් ජාතික උත්සවයක් ලෙස මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබුවා.

    දේශපාලන නායකත්වය අපට පැහැදිලි මාර්ගය පෙන්වා දෙන විට ඒ මාර්ගයේ ගමන් කිරිමට අවශ්‍ය අමතර ශක්තිය ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විසින් නිබදව ලබාදුන්නා. එපමණක් නොව රෝගී ජනතාවට සහන ලබාදිමට පරිපාලන යාන්ත්‍රණය ජාතික පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශිය, සහ ගම්මාන මට්ටමින් සහයෝගය ලබාදුන්නා. එම සහාය ද අගය කරනවා.


    මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර මේ සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය , ප්‍රවාහන අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි , රාජ්‍ය අමාත්‍යවරුන් වන විශ්ෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ජපන් තානාපති මිසුකොෂි හිදෙකි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං,හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya