පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ඇමති සිය නවදිල්ලි සංචාරය සාර්ථක ලෙස අවසන් කරයි

    පෙබරවාරි 09, 2022

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2022 පෙබරවාරි 06-08 යන දිනවල ඉන්දියාවේ සිදු කළ සිය දෙදින නිල සංචාරය සාර්ථක ලෙස අවසන් කළේ ය.

    ඒ මහතා, පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී විදේශ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගේ ඇරයුමකට අනුව, සිය මංගල සංචාරය සඳහා නවදිල්ලි නුවර සංචාරයක නිරත විය.

    මෙම සංචාරය අතරතුර දී විදේශ අමාත්‍ය පීරිස් මහතා සිය මිත්‍ර පාර්ශ්වය නියෝජනය කළ ජයශංකර් මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා හමුවිය. ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා ද විදේශ අමාත්‍යවරයා හමුවිය.

    නියෝජිත මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍යවරුන් දෙපළ අතර පැවති හමුව, පෙබරවාරි 07 වැනි දින නවදිල්ලියේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පවත්වන ලදී. තමන් වෙත පිරිනැමූ ඇරයුම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කළ අමාත්‍ය පීරිස් මහතා, තමන් ඇතුළු නියෝජිත පිරිස වෙත දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාර පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේ ය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා ගණුදෙණුකාරී තත්ත්වයක සිට උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇති බව නිරීක්ෂණය කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ඉන්දියාව ශ්‍රී ලංකාවට සෑම විටම විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව හඳුනාගෙන ඇති බව සඳහන් කළේ ය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී ඉන්දීය රජය ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 2.4 ක මූල්‍ය ආධාර ලබා දී ඇති බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, ඉන්දීය රජය සිය ඇගයීමට ලක් කළේ ය. දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍රත්වය ශ්‍රී ලංකාව සඳහා සැමවිටම උපකාරී වනු ඇතැයි අමාත්‍ය ජයශංකර් මහතා සහතික කළේ ය.

    මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවල දී ආර්ථික සහයෝගීතාව, බලශක්ති සහයෝගීතාව, සම්බන්ධතාව, පුද්ගලාන්තර සම්බන්ධතා යනාදිය ඇතුළත් අන්‍යෝන්‍ය උනන්දුවක් සහිත පුළුල් පරාසයක කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ අතර, මෑතක දී අත්සන් තබන ලද ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, එය දෙරට අතර සමීප ඒකාබද්ධතාවයක් පෙන්නුම් කරන බවත්, එමගින් රටවල් දෙකටම ජයග්‍රාහී තත්ත්වයක් හිමි කර දෙන සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙන වැඩපිළිවෙළක් බවත් සඳහන් කළේ ය. විශේෂයෙන්ම සුළං සහ සූර්ය බලශක්ති ක්ෂේත්‍ර ඇතුළු පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව පිළිබඳ අපේක්ෂාවන් පිළිබඳව ද මෙම හමුව අතරතුර දී සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරමින්, ඖෂධ, ආහාර සැකසුම් සහ නිෂ්පාදන වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා ඉන්දීය ආයෝජනවල පවත්නා ශක්‍යතාව මෙම හමුව තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි. අමාත්‍ය පීරිස් මහතා මීට අදාළව ඉන්දීය ආයෝජකයන්ට ඇරයුම් කළේ ය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා වර්ධනය වෙමින් පවතින ඉන්දියානු බාහිර සංචාරක ව්‍යාපාරය උපයෝගී කරගැනීමේ ක්‍රම සහ විධි පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල ඉදිරි ගමන් මග පවත්වාගෙන යාමේ අරමුණින්, දෙරට අතර ආරක්ෂක, සංස්කෘතික සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් කිහිපයක් කඩිනමින් නිම කිරීම සඳහා අමාත්‍යවරු දෙපළ සිය එකඟත්වය පළ කළ හ.

    විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙම සාකච්ඡා අතරතුර දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ධීවර ගැටළුව පිළිබඳව සාකච්ඡා කළේ ය. එය ‘ඉතා සංවේදී කරුණක්’ ලෙසින් හැඳින්වූ

    විදේශ අමාත්‍යවරයා, එය වෙනස් මුහුණුවරක් රැගත්, නැවත නැවතත් සිදුවන ගැටළුවක් බවට පත්ව ඇති බව පෙන්වා දුන්නේය. මෙම ගැටළුව සම්බන්ධයෙන් සියලුම ද්විපාර්ශ්වික යාන්ත්‍රණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව දෙපාර්ශ්වයම හඳුනාගත් හ.

    මෙම වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය පීරිස් මැතිතුමා අමාත්‍ය ජයශංකර් මහතා වෙත ඇරයුම් කළේය. 2022 මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අපේක්ෂාවෙන් පසුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    පෙබරවාරි 08 වැනි දින අමාත්‍ය පීරිස් මැතිතුමා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා අතර හමුවක් පැවැත්විණි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා, දෙරටෙ හි අන්‍යෝන්‍ය උපායමාර්ගික අවශ්‍යතා පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළහ. මෙහිදී දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කෙරුණු අතර, අනාගත සහයෝගීතාව සඳහා අවශ්‍ය වන ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    විදේශ අමාත්‍යවරයා සිය නවදිල්ලි සංචාරය අතරතුර දී ප්‍රමුඛ පෙළේ ඉන්දීය මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හමුවේ සිය අදහස් හුවමාරු කර ගත්තේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද විදේශ අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya