පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    වෙනත් රටවල ජනතාව එන්නත් රජයෙන් ඉල්ලද්දී , මෙරට රජය ජනතාව පසුපස ගොස් එන්නත් ලබා දෙයි

    පෙබරවාරි 11, 2022

    සෞඛ්‍ය ඇමති අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයට කියයි

    කොවිඩ් පාලන ක්‍රියාවලියේදී ලොව වෙනත් රටවල ජනතාව එන්නත් ලබා දෙන ලෙස එම රටවල රජයන්ගෙන් ඉල්ලීම් කළද මෙරට රජය ජනතාව පසුපස ගොස් එන්නත් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    එන්නත් මාත්‍රා තුනක් ජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලැබූ දැවැන්ත ක්‍රියාමාර්ගය රටෙහි කොවිඩ් පාලනයට බලපෑ ප්‍රමුඛතම සාධකය වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයේ මහ ලේකම් Jagan Chapagain මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා (10) හමු වූ අවස්ථාවේදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය.

    මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී පළමු හා දෙවන එන්නත ලබාගැනීමේදී ජනතාව තුළ තිබූ උද්යෝගය විවිධ දුර්මත හේතුවෙන් තෙවන එන්නත ලබාගැනීමේදී නොමැති තත්ත්වයක් පෙන්නුම් කරන බවත්, එහෙත් ඒ වෙනුවෙන් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවත් අමාත්‍යවරයා කීය. කොවිඩ් ව්‍යාප්තියේ හා මරණ අනුපාතයේ පහළ අගයක් පෙන්නුම් කරන විට ජනතාව තෙවන එන්නත පිළිබඳව එතරම් උනන්දුවක් නොදැක්වූ බවද එහෙත් එම අගයන්හි වැඩිවීමක් පෙන්නුම් කරන විට ඒ තුළ පවතින උනන්දුව ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා කීය. කෙසේ වුවුද ඉදිරි මාස කිහිපය තුළ බූස්ටර් එන්නත ඉලක්කගත ජනතාවට ලබාදීමට හැකි වනු ඇතැයි අමාතවරයා විශ්වාසය පළ කරයි.

    සමහර රටවල් තවතමත් එන්නත්කරණයට යොමු නොවුණු තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් 95% ට දෙවන එන්නත ලබාදී ඇතැයිද ළමුන්ගෙන් 98% ට පමණ එන්නත් ලබාදී ඇතැයිද රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එන්නත්කරණය සඳහා ජනතාව වඩාත් උනන්දු කරවීම වෙනුවෙන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසක් මෙන්ම බොහෝ පොදු ස්ථාන වෙන්කර ඇතැයිද එමෙන්ම ජනතාව හඹාගොස් සිදු කරන ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලවල් රැසක්ද ක්‍රියාවට නංවා ඇතැයිද හෙතෙම පැවසීය.

    කොවිඩ් ව්‍යසනයේදී ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙරට සාර්ථක කොවිඩ් පාලනය වෙනුවෙන් ඉහළ සහයෝගයක් ලබාදුන් බවද අන්තර්ජාතික රතු කුරුස සම්මේලනය ඒ වෙනුවෙන් ලබාදුන් සහයෝගයට ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා කීය.

    ජනතාවගේ මානසික සෞඛ්‍ය මෙන්ම පවුල් සෞඛ්‍ය හා ප්‍රාථමික සෞඛ්‍ය නගා සිටුවීම කොවිඩ් ව්‍යසනයෙන් පසු එල්ල වන දැවැන්ත අභියෝගයක් බවත් , මෙරට ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය ඒ වෙනුවෙන් පෙළ ගැසී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයේ මහ ලේකම් Jagan Chapagain මහතා,

    අන්තර්ජාතික රතු කුරුස සම්මේලනය හා ශ්‍රී ලංකාව අතර බැඳුණු දීර්ඝ ඉතිහාසයක් බවතින බවත් ත්‍රස්තවාදී සටනේදී මෙන්ම සුනාමි ව්‍යසනයේදී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට හැකි වූ බවත් කීය. එමෙන්ම ගෝලීය ව්‍යසනය හමුවේ ඉන් මිදීමට ශ්‍රී ලංකාව ගන්නා වැඩපිළිවෙලට අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයේ සහය තවදුරටත් ඉහළ මට්ටමින් ලැබෙන බව Jagan Chapagain මහතා කීය.

    විශේෂයෙන් කොවිඩ් පාලනයට හා එන්නත්කරණයට ශ්‍රී ලංකාව ගත් සාර්ථක වැඩපිළිවෙලවල් හේතුවෙන් අනෙකුත් රටවලට සාපේක්ෂව ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට හැකි වූ බවත් ඒ මහතා පැවසීය.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මෙරට සභාපති ජගත් අබේසිංහ,අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර, අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයේ ඉන්දියානු කලාපීය සභාපති උදය කුමාර් රිග්මි යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya