රජයේ තොරතුරු ජනතාව වෙත ගෙනයාමටත්, දුර බැහැර ජනයාට කොළඹට පැමිණ රජයේ අණ පනත් ලබා ගැනීමට ඇති අපහසුව ඉවත් කිරීමත් අරමුණු කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් රජයේ ප්‍රකාශන කාර්යාංශ ස්ථාපනය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරයි. අද විවෘත කරනු ලැබූවේ ශ්‍රී ලංකාවේ හත්වැනි රජයේ ප්‍රකාශන කාර්යාංශ කාර්යාලයයි. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, දණ්ඩ නීති සංග්‍රහය, අණ පනත් සහ රජය නිකුත් කරන සියලුම නිවේදන භාෂා ත්‍රිත්වයෙන් ලබා ගැනීමට යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට දැන් පිළිවන.
මීට සමගාමීව යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී හමුවක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කර තිබුණි. ආර්ථිකය පිළිබඳ ගැටළුවක් වේවා, අධ්‍යාපනය පිළිබඳ ගැටළුවක් වේවා එය කුමන ආකාරයේ ප්‍රශ්නයක් වුවත් අපේ රටේ ජාතික සමගිය වැදගත්ම අංගය විය යුතු බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
“ජාතික සමගිය ගොඩ නැගීමේදී දේශපාලඥයාට වඩා වැඩි කාර්ය භාරයක් මාධ්‍ය වේදීයාට සහ කලාකරුවාට කළ හැකියි. ඒක ඉතිහාසය විසින් ඔප්පු කරල තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් තුල විවේචන තියෙන්න පුළුවන්, උද්ඝෝශණ තියෙන්න පුළුවන්, තර්ක විතර්ක විසංවාද තියෙන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ. ඒක කවදාවත් අපි අතර මිත්‍රත්වයට බාධාවක් කරගන්නා එපා. විසංවාදය රටක ඉදිරි ගමනට අවශ්‍යයයි. හැබැයි විසංවාදය අවසානයේ එකඟතාවයකට පැමිණිය යුතුයි” අමාත්‍යවරයා කීවේය.
“සිංහල භාෂාව මව් භාෂාව කරගත් මාධ්‍යවේදීයා දැනගත යුතුයි සහෝදර දෙමළ භාෂාව භාවිතා කරන මාධ්‍යවේදීයා කොහොමද කල්පනා කරන්නේ කියල, දෙමළ භාෂාව මව් භාෂාව කරගත් මාධ්‍යවේදීයා දැන ගත යුතුයි සිංහල භාෂාව භාවිතා කරන මාධ්‍යවේදීයා කොහොමද කල්පනා කරන්නේ කියල. ඒ සඳහා මාධ්‍යවේදී හුවමාරු වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒවගේම ඉතා තියුණු මාධ්‍ය භාවිතයක් තියෙන තැනැක් තමයි යාපනය කියන්නේ. මොකද මෙම ප්‍රදේශයේ විතරක් ප්‍රාදේශීය මුද්‍රිත මාධ්‍ය පහක් (උදයන්, තිනකුරල්, වලම්පුරි, ඊලනාඩු සහ කාලෛයිකදිර්) තියෙනවා. මේ වගේ තැනැක් ලංකාවේ වෙන කොහොවත් නැහැ, ඒ වගේම භාෂණයේ නිදහස අපි ආරක්ෂා කළ යුතුයි. දරදඬු නීති රීති මගින් මාධ්‍ය පාලනය කරන්න පුළුවන් කියල මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. ඒකට ස්වයං නියාමනයක් අවශ්‍යයයි. ස්වයං නියාමනය විය යුත්තේ අපි අපි අතරෙයි.”” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති රක්ෂණාවරණය, වරලත් මාධ්‍යවේදී ආයතනය පිහිටුවීම, මාධ්‍යවේදීන් ඇගයීමේ ජනාධිපති සම්මාන උළෙල සම්බන්ධයෙන්ද අලහප්පෙරුම මහතා මෙහිදී පැහැදිලි කරන ලදී.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේෂ් රාඝවන් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා,
යාපනය දිස්ත්‍රික් ලේකම් / දිසාපති ක.මහේෂන් මහතා, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද ප්‍රාදේශීය මාධ්‍යවේදී හමුවට සහභාගී වූහ.