ඉන්දියාවේ ඩීසල් මිල ලංකාවේ ඩීසල් මිලට දෙගුණයකටත් වඩා වැඩි බවත් සමස්ත ලෝකයම ගත් විට තෙල් මිල අඩුම රටවල් අතුරින් ශ්‍රී ලංකාව 22 වන ස්ථානයේ සිටින බවද කීය . ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තෙල් මිල වැඩි නොකර සිටිය යුතු බවට තීරණයකට එළැඹි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ දිනවල පවතින තෙල් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසාමිල් මහාතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පවතින යුක්රේන රුසියානු අර්බුදය හේතුවෙන් ඒළඹෙන මාර්තු මැද වන විට ඩොලර් 115 දක්වා බොරතෙල් බැරලයක මිල වැඩි වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
රටට පැමිණෙන කිසිදු තෙල් නැවක් හරවා යවා නැති බව කී බලශක්ති අමාත්‍යවරයා, තෙල් නැව් මුහුදේ රඳවා ගත හැකි උපරම දින 11 දක්වා රඳවා ගනිමින් සියළුම තෙල් නිෂ්පාදන මුදල් ගෙවා ලබා ගැනීමට කටයුතු කර ඇතැයිද කීය. ඉන්ධන ආනයනය කිරීමේ අභියෝගය හමුවේ රටවල් ගණනාවක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් දිගු කාලීන ණය පහසුකම් යටතේ ඉන්ධන ආනයනය පිළිබඳ අවධානය යොමු කර ඇතැයිද කීය.
අද රට තුළ ඇත්තේ ඉන්ධන හෝ ඖෂධ හිගයක් නොව විදේශ විනිමය හිගය බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
පසුගිය සෙනසුරාදා බැංකු විවෘත කර ණයවර ලිපි විවෘත කර සඳුදා දිනයේ සිට ඒක් පෙට්ට්‍රල් නැවැක් බාන්න පටන් ගත්තා. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරදී භාණ්ඩාගාර ලේකම්වරයා ලංකා බැංකුවට උපදෙස් දී ඩීසල් නැවට අවශ්‍ය මුදල් ගෙව්වා. මේ වන විට ඩීසල් ගොඩ බෑම ආරම්භ වී තිබෙනවා. ඊයේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා අවශ්‍ය විදේශ විනිමය ලබා දීමට පොරොන්දු වූ නිසා මුහුදේ නවතා ඇති අනෙක් පෙට්‍රල් නැවත් , ඉක්මනින් බා ගන්න පුළුවන් වේ යැයි විශ්වාස කරනවා.
ඩීසල් නිකුත් කිරීම සීමිත වශයෙන් සිදු වූ බැවින් පසුගිය දින කිහිපයේදි ඩීසල් හිගයක් රට තුළ පැවති බවත් ඒහෙත් මේ වන විටත් භාණ්ඩාගාර ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඩීසල් නැවට අවශ්‍ය මුදල් ගෙවා ඩීසල් බෑමේ කටයුතු ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
පසුගිය පෙබරවාරි මාසයේ 5 වන දා සිට lIOC තෙල් මිල වැඩි කිරීම නිසා දැවැන්ත තෙල් මිල වැඩිවීමක් අපේක්ෂාවෙන් බොහෝ ඉන්ධනහල් වල තොග සගවාගැනීමේ ගැටළුවකට මුහුණ දුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා යුක්රේන රුසියානු යුද්ධයේ ත්‍රීවුරතාවය මත බොහෝවිට අද දිනයේත් බෙර තෙල් බැරලයක මිල ඩොලර් 100ඉක්මවා යනු ඇතයි බලාපොරොත්තු වන බවද කීය.