පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍යයේ භෞතික ප්‍රසාරණයට අනුපාතිකව එහි ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීම අවශ්‍යයි  

    පෙබරවාරි 23, 2022

    ජනමාධ්‍යයේ භෞතික ප්‍රසාරණයට අනුපාතිකව අද වනවිට එහි ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීමේ ව්‍යායාමයක් අවශ්‍ය යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළේ ය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණගාරයේ දී අද (23) පැවැති පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනෙහි ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල්වරයා මේ බව පැවසීය.

    වර්තමානය වන විට ජනමාධ්‍ය මුළු සමාජයම වසා සිටින ප්‍රපංචයක් බවට පත්වී ඇතැයිද ජනමාධ්‍ය ජීවිතයම වසාගෙන පැතිර යමින් පවතින බවද පෙන්වා දුන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජනමාධ්‍ය ප්‍රචාරණයේදී එය සංවිධානාත්මක අයුරින් සිදුනොවන බවට සාක්ෂි දැක්විය හැකි යැයිද පැවසීය.

    එනම් පසුගිය වසර අග භාගයේදී සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රචාරයක් හේතුවෙන් වාර හතරක් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් ඇතිවූ බවද, ඉන්ධන හිඟයක් ඇතැයි කී ප්‍රකාශය නැවත ඇත්තද යන්න විමසීමකින් තොරව මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම මෙම තත්ත්වයට හේතු වූ බවද පැවසීය.

    පසුගිය සියවසේ අවසන් දශකය වන විට ලෝකයේත් අප රටේත් ජනමාධ්‍ය විසින් දළ ජාතික නිෂ්පාදනයට කළ දායකත්වය 4% - 5%ක් පමණ බවද, අද දවස වන විට මෙය 20% ඉක්මවා වර්ධනය වී ඇතැයිද ඔහු කියා සිටියේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වර්ෂ 1948 එනම් නිදහස ලැබූ වසරේ ස්ථාපිත කළ බවද, ආණ්ඩුවේ තොරතුරු හස්තය ලෙස ක්‍රියාත්මක වීම මෙන්ම රට තුළ අගති විරහිත යහපත් මාධ්‍ය රටාවක් සහ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට දායක වීම යනුවෙන් මෙම ආයතනයෙහි මුඛ්‍ය කාර්යය කොටස් 02කින් යුක්ත බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.

    මෙම පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන ඉහත සඳහන් කළ දෙවන කොටසට අයත් වන බව සදහන් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, වත්මන් ජනමාධ්‍ය අමාත්‍යතුමා පත්වීමත් සමග මෙම ව්‍යාපෘතියට නව මුහුණුවරක් දී පුළුල් කිරීමට තීරණය කළ බවයි.

    මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් සංවර්ධන) එගොඩවෙල මහත්මිය, අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් විෂය සමගාමී අංශයේ අධ්‍යක්ෂිකා එස්.ඩී. සුභසිංහ මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු අංශාධිපති මහාචාර්ය ශ්‍රී රංජන් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය කමල් වලේගොඩ මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු අංශාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා, ජාතික අධ්‍යාපන ආයතනයෙහි ජනමාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනෙහි හිටපු ප්‍රධානී ආචාර්ය බන්දුල පී. දයාරත්න මහතා යන අයගෙන් සමන්විත විද්වත් මඩුල්ලක් සහභාගී විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya