පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    උතුරට කිරි සැකසුම් කර්මාන්ත ශාලාවක් ලබාදෙනවා - රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

    පෙබරවාරි 24, 2022

    ප්‍රංශ ආධාර මත අප රටට ලැබී තිබූ කිරි සැකසුම් කර්මාන්ත ශාලා 06 න් එකක් උතුරට ලබා දීමට සැලසුම් කර තිබුණද, විවිධ පුද්ගලයින්ගේ මැදිහත්වීම මත එය වැළක්වී ගියද, ඉදිරියේදී අප රටට ලැබීමට නියමිත ප්‍රථම කර්මාන්ත ශාලාව උතුරට ලබා දීමට පියවර ගන්නා බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසුවේය.

    "2022 කිරි සංග්‍රාමය" වැඩසටහන උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීම උදෙසා උතුරු පළාත් දේශපාලන අධිකාරිය, පශු වෛද්‍යවරුන්, සත්ව සංවර්ධන නිලධාරීන් මෙන්ම උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ එම පළාතේ කිරි ගොවි නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත් විය.

    මෙම හමුවේදී උතුරු පළාත් කිරි ගොවියන් වෙත නුතන තාක්ෂණය ගලා යාම, පශු ක්ෂේත්‍රයේ අතිරේක ආදායම් උපාය ගත හැකි ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම, සෘජුව හා කෙටි කාලීනව කිරි අස්වැන්න වැඩිකර ගැනීමේ ක්‍රම හා උතුරු පළාතේ වෙසෙන කිරි ගොවියන් හට බලපා ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සිදු කෙරිණි.

    පැමිණි සිටි නිලධාරීන් අමතා රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ මෙවර අයවැය මඟින් රාජ්‍ය ආයතනයකට ලබා දෙන වැඩිම මුදල් ප්‍රමාණය ලැබී ඇත්තේ තම අමාත්‍යංශයට බවයි. ඒ හේතුව නිසා සියලු පශු වෛද්‍ය කාර්යාල වලට එම මුදල් ලැබෙන බවත් , එමඟින් දියර කිරි නිෂ්පාදනය වර්ධනය කර ගැනීමට අදාළ ව්‍යාපෘති සිදුකිරීමට පශු වෛද්‍යවරුන්ට අවකාශය ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    තවද තෘණ වගාව භෝගයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය ගැසට් කර ඇති බැවින් ඉදිරියේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් වෙනුවෙන් තණකොළ වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමත්, එමඟින් තෘණ වගා ව්‍යවසායකයින් උතුරු පළාතේ බිහිකිරීමට පියවර ගත යුතු බවත් අවධාරණය කළේය. එමඟින් සත්ව ආහාර මෙන්ම සයිලේජ නිෂ්පාදනය කර කිරි ගොවිපොළ වෙත ප්‍රවාහනය කිරීමේ වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, එමඟින් ගව ආහාර හිඟයට විසඳුමක් ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    උතුරු පළාතේ නිදැල්ලේ යන දෙනුන්ගෙන් කිරි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, පැටවුන් බිහි කිරීම සඳහා වූ කෘතීම සිංචන නිලධාරීන්ගේ හිඟය අවම කර ගැනීම සඳහා, එම ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වන තරුණයින් ගොවි පවුල් වලින්ම තෝරා ඔවුන්ට සති දෙකක පුහුණුවක් ලබා දීමට පියවර ගන්නා බවද පැවසුවේය.

    කිරි ලබා ගැනීමට නම් වසරක් පාසා පැටවුන් බිහිකළ යුතු බවත්, ඒ සඳහා පශු වෛද්‍යවරුන්ගේ සේවය අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා පශු ක්ෂේත්‍රයේ සියලු අංශ සඳහා මෙම වසර අග ඇගයීමක් සිදුකිරීමට තම අමාත්‍යංශය කටයුතු සූදානම් කර ඇති බවද කියා සිටියේය. එහිදී හොඳම කිරි ව්‍යවසායකයා, හොඳම කිරි එළදෙන, හොඳම කිරි ගොවිපොළ, දක්ෂතම පශු වෛද්‍යවරයා මෙන්ම සත්ව සංවර්ධන නිලධාරියා ආදී ක්ෂේත්‍ර ගණනාවකට සම්මාන හා ත්‍යාග ලබාදීමට බලාපොරොත්තු වන බව ද සිහිපත් කළේය.

    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ නියෝජිතයින්, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, ඒ ඒ දිස්ත්‍රික්ක වල දිසාපතිවරුන්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya