රජය විසින් සියලු කටයුතු සිදු කරන්නේ අන්තර්ජාතික ප්‍රජාව සතුටු කිරීම සඳහා පමණක් නොව මෙරට සෞභාග්‍ය සහ සාමය මෙන්ම ප්‍රජාවගේ මුලික අයිතිවාසිකම් ඉතාමත්ම ඉහළ මට්ටමේ රඳවා ගැනීමට බව විදේශ අමාත්‍යංශයේ
ලේකම් මහාචර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අද (25) ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයට ශ්‍රී ලංකාවේ සුදානම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (25) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඒ අනුව, මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සාමාන්‍ය සැසි වාරයේ දී සිදු කිරීමට නියමිතව තිබෙන්නේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් වන අතර නව යෝජනා ඉදිරිපත් කිරීම සිදු නොවන බවත් ඡන්ද විමසීමක් සිදුවන්නේ නැති බවත් හෙතෙම පැවසුවේය.
එහෙත්, මහා කොමසාරිස්වරියගේ වාර්තාවේ අඩංගු වන යම් යම් කරුණු වලට මේ වන විට නිසි පිළිතුරු ලබා දී ඇති බවත් ඒ මහතා මෙහි දී කියා සිටි අතර කෙසේ වුව ද එම වාර්තාව සම්බන්ධව කිසියම් සාකච්ඡාවක් සැසි වාරයේ දී ඇති වීමට නියමිත බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධව මිත්‍රත්වයෙන් කටයුතු කරන රටවල් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬක් නඟනු ඇති බව බලාපොරොත්තු වන බවත්, මෙවර ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ සුදානමකින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම මහා කොමසාරිස්වරියගේ එම වාර්තාවේ 95% ක් පමණම අඩංගු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු සම්බන්ධව වන අතර රටක අභ්‍යන්තර දේශපාලන කටයුතු සියල්ල ජිනීවා වල දී ප්‍රශ්න කිරීම යෝග්‍ය නොවන බව මහා කොමසාරිස්වරියට ද දන්වා ඇති බවත්, මෙලෙස රටක අභ්‍යන්තර දේශපාලන කටයුතු ඇයගේ විෂය පථයට ද අදාළ නොවන බව ද කොළඹගේ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදුව, වෙනත් රටවල සිදු වන දේ සම්බන්ධයෙන් ද මෙලෙස ප්‍රශ්න කිරීමක් සිදුවන්නේ ද, එසේ නොමැතිනම් ශ්‍රී ලංකාවට පමණක් මෙලෙ මැදිහත් වීම් කරන්නේ ද යන්න පිළිබඳව ගැටළුවක් තිබෙන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව වනාහි වසර 30 ක ත්‍රස්තවාදී යුධ සමයක අමිහිරි මතක සහිත ගොදුරක් ව සිටි රටක් වන අතර, සාර්ථක ලෙස එම ත්‍රස්තවාදය මැඩපවත්වූ රටක් වශයෙන්, එමෙන්ම මෙරට ජිවත් වන පුරවැසියාගේ ජිවත් වීමේ අයිතිය සුරක්ෂිත කර ඇති රටක් වශයෙන් මෙවැනි අභූත චෝදනා නැඟීම කෙතරම් සාධාරණ ද යන්න අන්තර්ජාතිකව බැලිය යුතු කාරණයක් බවත් මෙහි දී අවධාරණය කළේය.
මෙරට යම් යම් ගැටළු තිබුණ ද ඉන් බොහොමයක් ගැටලුවලට විසඳුම් ලබා දී ඇති අතර දැනට පැවතින අවශේෂ ප්‍රශ්න වලට ද මෙම කාලය තුළ නිසි විසඳුම් ලබා දී රටක් ලෙස එකමුතු ව ඉදරියට යන්නේ කෙසේ ද යන්න පිළිබඳව වත්මන් රජය විශේෂයෙන් කටයුතු කරනු ලබන බවත් පැවසූ විදේශ ලේකම්වරයා, කොවිඩ් වසංගතයත් සමඟ ලොව පවතින ආර්ථික අර්බුදයත් සමඟ ගැටෙමින් අසීරු කාලයක් ගෙවමින් සිටින මොහොතක මෙවැනි අභූත චෝදනා ශ්‍රී ලංකාව වැනි රටකට එල්ල කිරීම අසාධාරණ කරුණක් වන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, මෙවැනි අන්තර්ජාතිකව එල්ලවන අභියෝග හමුවේ මෙරට වගකිවයුතු පාර්ශව විසින් පක්ෂ පාටවලට නොබෙදී එක් රටක් ලෙස එක්සත්ව, එක්සිත්ව මුහුණ දීමට කටයුතු කළ යුතු බව ද මෙහි දී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සාමාන්‍ය සැසි වාරය පෙබරවාරි 28 වන දා ආරම්භ වීමට නියමිතව ඇති අතර එදින සිට අප්‍රේල් 01 දක්වා මෙම සැසි වාරය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව, මෙම සැසි වාරයේ දී මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ රටට එරෙහිව නැඟී ඇති චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය කුමක් ද, සහ එහි දී එම යෝජනාවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දැක්වීමේ සූදානම කුමක් ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ව තිබේ.