හැත්තෑව දශකයේ “ගීතා“ නමු වූ සිනමා සඟරාවෙන් මාධ්‍ය ලෝකයට පිවිසි බන්දුල පත්මකුමාර මහතා 80 දශකයේ සිත්තර නිවසට සම්බන්ධ වන්නේ එකළ යොවුන් හදවත් දිනාගත් ජනප්‍රිය පුවත්පතක් වූ “කුමරි“ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා ලෙසිනි.
පුවත්පත් කලාවේ නව මං පෙත් සොයා යමින්, “සරසි“ සිනමා පුවත්පත, “සත්සර“ “කුමරි“ “රැජින“ “අරලිය“ සහ “ෆොටෝ ගැෆි“යන පුවත්පත් කිහිපයක්ම ප්‍රකාශයට පත් කළ හෙතෙම, පුවත්පත් කලාවේ නව නිපැයුම්කරුවෙක් ලෙස සුමති පුවත්පත් සමාගමට එක්වෙමින් “ලක්බිම ඉරිදා සංග්‍රහයේ“ කර්තෘවරයා බවට පත් විය.
එතැන් පටන් ශ්‍රී ලාංකේය පුවත්පත් ඉතිහාසය තුළ, සති අන්ත සිංහල පුවත්පත් කලාව උඩුයටිකුරු කළ බන්දුල පද්මකුමාර මහතා, සත්සමුදුරෙනුත් එහා ලෝකයත් මෙරට ජනතාවට සමීප කිරීමට දැරූ ප්‍රයත්නය “සමුදුර“ පුවත්පතෙන් මල්ඵල ගැන්විණි.
සිය ගමන් මඟෙහි දිශානතිය වෙනසක් කරා යොමු කරමින් 90 දශකයේ අගභාගයේදී, රූපවාහිනියෙන් පත්තර කියැවීමේ කලාව ජනතාව අතරට රැගෙන යන්නට, බන්දුල පද්මකුමාර නම් ප්‍රවීන මාධ්‍යවේදියා සමත් විය. පසුකාලීනව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙසත්, එහි සභාපතිවරයා ලෙසත් කටයුතු කළ බන්දුල පත්මකුමාර මහතා ඒ ඔස්සේ ශ්‍රී ලාංකේය පුවත්පත් කලාව නව මානයකට යොමු කළේය. ඒ අතර, “සැබෑ“ නම් වූ ටැබ්ලොයිට් පුවත්පතද පාඨකයාට සමීප කිරීමට හෙතෙම කටයුතු කළේය.
ඉතිහාසයේ ප්‍රථම වරට, සති අන්ත ජාතික පුවත්පත්වලට ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ අතිරේකයක් එකතු කරනු ලබන්නේ බන්දුල පත්මකුමාරයන් විසිනි. ඉන්පසු කාලීනව ශ්‍රී ලංකාවේ පළ වන සෑම සතිඅන්ත පුවත්පතක්ම එය අනුගමනය කරන ලදී. බන්දුල පද්මකුමාර මහතා, යොවුන් හා කාන්තා පුවත්පත් ඉතිහාසයේ නොමැකෙන නාමයකි.
අභාවප්‍රාප්ත වූ බන්දුල පත්මකුමාර මහතාට උතුම් නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරන අතර ඒ මහතාගේ අභාවයෙන් ශෝකයට පවුලේ සමාජිකයන්ටත් ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු සහෘද මාධ්‍යවේදීන් හා ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් සංවේගය මෙයින් පුද කර සිටිමි.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය