පකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි (M Amjad Khan Niazi) මහතාගේ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා 2022 පෙබරවාරි මස 21 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පකිස්ථානය බලා පිටත්ව යන ලද අතර, එම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මියද සහභාගි විය.
ඒ අනුව, නිල සංචාරය ආරම්භ කරමින් 2022 පෙබරවාරි මස 22 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ප්‍රථමයෙන් පකිස්ථානු නාවික හමුදා මුලස්ථානය වෙත පිවිසි අතර, එහිදි පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති නාවික සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කෙරිණි.
අනතුරුව, පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර දී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා හමු විය. එහිදී පකිස්ථාන අග්‍රාමාත්‍යතුමන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉතා සුහඳශීලිව පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාවය සහ කාලාපීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි
එමෙන්ම, නිළ සංචාරය තුලදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්ථානයේ ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (Dr. Arif Alvi) මහතා හමුවී සුහඳ පිළිසඳරකද නිරත විය.
තවද, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති, යුද හමුදා ප්‍රධානී, සමුද්‍රීය තාක්ෂණ සංකීර්ණයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, පකිස්ථානු නාවික බලඇණියේ ආඥාපති, පකිස්ථානු වෙරළ ප්‍රදේශභාර ආඥාපති, ආඥාපති කරච්චි, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ කළමණාකාර අධ්‍යක්‍ෂ (කරච්චි නැව් තඨාකාගංණය හා ඉංජිනේරු කටයුතු) වැනි එරට ජ්‍යෙෂ්ඨ නාවික හා යුද හමුදා නිලධාරින් කිහිප දෙනෙකු හමු වී ද්විපාර්ශවිය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවන්හි නිරත විය.
එමෙන්ම, පකිස්ථානයේ ලාහෝර්හි පිහිටි පකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ දී එහි පුහුණුවන නිලධාරින් අමතා විශේෂ දේශණයක් සිදු කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කටයුතු කළ අතර, මෙම නිල සංචාරය තුලදී පකිස්ථානු නාවික හමුදා විද්‍යාපීඨය, පකිස්ථාන ඒකාබද්ධ සමුද්‍රීය තාක්ෂණ සම්බන්ධිකරණ මධ්‍යස්ථානය සහ පකිස්ථානු නාවික හමුදාවට අයත් නෞකා හා ආයතන කිහිපයක නිරික්‍ෂණ චාරිකාරවන්හි නිරත විමටද නාවික හමුදාධීපති විසින් කටයුතු කරන ලදී. එසේම, පකිස්ථාන නාවික හමුදා පුහුණු ආයතනයන්හි පුහුණුව ලබන ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් හමුවීමටද මෙහිදී නාවික හමුදාධිපති විසින් කටයුතු කරන ලදී.
තවද, පකිස්ථානය හා ඉන්දියාව අතර වගාහ (Wagah) දේශසීමාවේ සිදු කරනු ලබන සාම්ප්‍රදායික ධජ පහත හෙලීමේ චාරිත්‍රය (Flag Lowering Ceremony) නිරික්‍ෂණය සඳහා ද ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගි විය.
කාළාපීය ආරක්‍ෂක හා නාවික ප්‍රධානීන් අතර සිදු වන මෙවන් හමු වීම් මඟින් ශක්තිමත් වන මිත්‍රත්වය සහයෝගිත්වය සහ ජාත්‍යන්තර සම්බන්ධතා, පොදු කළාපීය සාගරික අභියෝග සාමුහිකව ජයග්‍රහණය කර කළාපීය සගරික ආරක්‍ෂාව තහහුරු කිරිම උදේසා මහත් පිටුවහලක් ගෙන දෙනු ඇත.
ඡායාරූප අනුග්‍රහය : පකිස්තාන නාවික හමුදාව