බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් 2020 සැප්තැම්බර් 16 දින මීට අදාළ කමිටුව පත්කර තිබිණි.
පසුගිය ආණ්ඩුව සමයේ විෂය භාර අමාත්‍යවරයා සිය අභිමතය පරිදි මුදල් වැය කිරීම හේතුවෙන් සිදුවූ විශාල මුදල් අවභාවිතාව වැනි මුදල් අවභාවිතයන් තවදුරටත් සිදුනොවීම සඳහා මෙම රීති හඳුන්වාදීම ඉතා වැදගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂය භාර අමාත්‍යවරයාගේ අභිමතය මත මුදල් වියදම් කිරීම සීමා කරමින් ඒ සඳහා නියමිත ක්‍රමවේදයක් සැකසීම රටට ඵලදායීවනු ඇති බව කියා සිටියේය.
අග්‍රාමාත්‍ය උපදේශක (මහජන සම්බන්ධතා) ජී.එල්.ඩබ්ලිව්. සමරසිංහ මහතා කමිටු සභාපති ලෙස කටයුතු කළ මෙම කමිටුවේ සෙසු කමිටු සාමාජිකයන් ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිත නන්ද කුමාර,මහාභාරකාර තැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ (පාලන හා මානව සංවර්ධන) ඩබ්ලිව්.ධර්මදාස මහත්වරු කටයුතු කළහ.
මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවන ලද අවස්ථාවේ සිට මේ දක්වා පනත ක්‍රියාත්මක කර ඇති ආකාරය හා ඒ යටතේ නිකුත් කර ඇති චක්‍රලේඛ හා නියමයන් විමර්ශනයට භාජනය කරමින් ඊට සමාන්තරව හා එක්ව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ අණ පනත් හා රීති ද සලකා බලමින් මෙම රීති කෙටුම්පත සකස් කර ඇත. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, ලෝක උරුම ජාත්‍යන්තර උපදේශක ආචාර්ය ගාමිණී විජේසූරිය, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය නිමල් පෙරේරා සහ නිවාස අමාත්‍යාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නන්දනී ප්‍රනාන්දු මහත්ම මහත්මීහු මේ සඳහා විශේෂඥ දැනුමෙන් සහය වී තිබේ.
අරමුදලේ බලතල හා වෙනත් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ප්‍රධාන පරිපාලන නිලධාරියාට සහය පිණිස විශේෂඥ කමිටුවක් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය පරිදි ප්‍රධාන පරිපාලන නිලධාරියා විසින් පත් කළ යුතුය. එය කලින් කලට සමාලෝචනය කොට සංශෝධන අවශ්‍ය වේ නම් ප්‍රධාන පරිපාලන නිලධාරියාට එසේ කළ හැකිවීම ඇතුළු ප්‍රධාන රීති 16ක් මෙම කෙටුම්පතට අයත් වේ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කමිටු සභාපති අග්‍රාමාත්‍ය උපදේශක (මහජන සම්බන්ධතා) ජී.එල්.ඩබ්ලිව්. සමරසිංහ මහතා ඇතුළු කමිටු සාමාජිකයෝ එක්ව සිටියහ