පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට පියවර- සෞඛ්‍ය අමාත්‍ය

    මාර්තු 07, 2022

    මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ගෝලීය ව්‍යසනය මධ්‍යයේ කොතරම් අභියෝග, දුෂ්කරතා පැමිණියද රටෙහි ජනතාවට කිසිදු ඖෂධ හිගයක් නොතබන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ, (05) " සෞභාග්‍යයේ දැක්ම" වැඩපිළිවෙල යටතේ "සැමට පානීය ජලය" ලබාදීමේ සංකල්පයෙන් ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ කන්දෙකුඹුර සිට ගල්වැටිකන්ද දක්වා ජලය බෙදාහැරීමේ නල පද්ධතිය වැඩිදියුණු කර නව ජල සම්බන්ධතාව ලබාදීමේ අවස්ථාවට එකතුවෙමිනි.

    මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 20 කි. සමස්ත ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 250 ක් වන අතර ජල නල පද්ධතිය දීර්ඝ කළ කළ දුර කිලෝමීටර් 4.5 කි

    රට තුළ ඖෂධ නිශ්පාදන ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව සිදු කෙරෙන බවත් ඒ අනුව රටට අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ රැසක් නිෂ්පාදය කිරිමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය. අනුරාධපුර ප්‍රදේශයේ ඖෂධ කර්මාන්ත ශාලා හතරක් ඉදිවෙන බවත් හොරණ කර්මාන්ත ශාලාවක වැඩ ආරම්භ කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    හොරණ කර්මාන්ත ශාලාව ඩොලර් බිලියන 15ක ආයෝජනයක් බවද හම්බන්තොට ප්‍රදේශයේ තවත් ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවන බවද හෙතෙම කීය ඖෂධ නිෂ්පාදන නිෂ්පාදන කර්මාන්තශාලා මෙරට ආරම්භ කිරීම ආයෝජකයන්ට ලාභදායී වැඩපිළිවෙළක් බවත් එනිසා රට තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා උපරිම පහසුකම් සලසන බවත්
    සෞඛ්‍යය අමාත්‍යවරයා මෙහිදී කීය.

    එහිදී මුලික කාලය අතිශය දුෂ්කර බවත් එම කාලය තුළ බැණුම් අසමින් විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවන බවත් අනතුරුව උදාවන්නේ රටටත් ජනතාවටත් අතිශය ඵලදායි වකවානුවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

    මෙහිදී වැඩිදුරටත් කතා කළ සෞඛ්‍යය අමාත්‍යවරයා මෙසේ ද කීය.

    "මේ රජය ලංකා ඉතිහාසයේ පළමු වරට ග්‍රාමීය සංවර්ධනය සදහා මන්ත්‍රීවරුන්ට විශාල මුදලක් වෙන් කළ රජයක්. මේ වනවිට බිලියන 93 ක් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. සෑම ග්‍රාමසේවා වසමකටම ලක්ෂ 20 ක්, මන්ත්‍රී කොට්ඨාසයකට ලක්ෂ 40 ක්, වෙන් කළ ඉතිහාසයේ එකම රජය මේ රජයයි. ග්‍රාමීය සංවර්ධනය පමණක් නොව ස්වයං රැකියා ප්‍රමුඛ සමාජ සංවර්ධනය වෙනුවෙන්ද රජය මුදල් වෙන් කර තිබෙනවා. තිරය පිටුපස විශාල නොපෙනෙන වැඩ කොටසක් සිදු වෙනවා. අවාසනාවට එය තිරය ඉදිරියට එන්නේ නැහැ. එය බොහොම අවාසනාවන්ත තත්ත්වයක්.

    සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ආවාට ගියාට කඩදාසි කැබැල්ලක් අරගෙන ලියපු ලියවිල්ලක් නොවෙයි. සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන විට ඒ සෑම වාක්‍යයකටම වටිනාකමක් දීමට කටයුතු කළා. කරන්න බැරි වැඩ ලියන්න එපා කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.

    කොවිඩ් වසංගතය සමග මුළු ලොවම විශාල පීඩාවකට පත් වුණා. අපේ රටට ආව අභියෝගයද කියා නිම කළ නොහැකියි. රටේ ප්‍රධාන විදේශ විනිමය ගෙනෙන අංගයක් තමයි සංචාරක ව්‍යාපාරය. එය කඩා වැටුණා. ඩොලර් බිලියන 05 ක් අපි හැම අවුරුද්දෙම සංචාරක ව්‍යාපාරය තුළින් උපයා ගත්තා. 2025 වන විට ඩොලර් බිලියන 10 ක අපේ ඉළක්කයක් තිබුණා. විදේශ රැකියා, තේ කර්මාන්තය සහ අනෙකුත් අපනයනවලින් ලැබෙන මුදල් නැති වුණා. අපි මෙහෙම හරි මේ රට ගැටගහගෙන යන එක ආශ්චර්යයක්. අද වන විට ඉන්ධන දිනෙන් දින ඉහළ යනවා. දල වශයෙන් ඩොලර් මිලියන 450 ක් අවශ්‍යයි ලංකාවට ඉන්ධන ගේන්න.

    එන්නත්කරණය අතින් ලොව 05 වන ස්ථානයේ අපි ඉන්නවා. ඩොලර් මිලියන 370 ක් එන්නත් සදහා වැය වී තිබෙනවා. තවත් එන්නත් මිලියන 8.1 ක එන්නත් අප සතුව තිබෙනවා. බොහෝ රටවල ජනතාව එන්නත ලබාදෙන ලෙස ඉල්ලා ආණ්ඩු පස්සේ දුවද්දී, ලෝකයේ එකම රට අපි තමයි එන්නත ගහගන්න කියා ජනතාව පසුපස යන. එන්නත් තුනම ලබාගත් අයගෙන් මියගොස් ඇත්තේ සියයට 0.2 යි. එයිනුත් වැඩි පිරිසක් වයස අවුරුදු 65 වැඩි සංකූලතා ඇති අය. අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අද ලිහිල් කලා. ඒ අනුව කොවිඩ් හැදිලා මියගිය අයගේ මෘත ශරීර ආරක්ෂිතව සීල් කරලා ඥාතින්ට ලබාදෙනවා. ඒ අයට කැමැති තැනකට ගෙනියන්න පුළුවන්. පැය 24 ක් ඇතුලත ආගමික වතාවත් සියල්ල සිදු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. පැය 24 ක් තුළ අවමංගල්‍ය කටයුතු අවසන් කළ යුතුයි."

    සෞඛ්‍ය අමාත්‍ය ජේෂ්ඨ උපදේශක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනපති කහගල සීලානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එම්.ආර්.බී.සමරකෝන්, එහි වැඩබලන සභාපති උපාලි උපාලි කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya