මව් කුසෙහි රැකවරණය මධ්‍යයෙහි ගොඩනැගෙමින් එක් දිනක ලොව එළිය දැකගත් බිළිදුන් හට රුහිරු කිරට හරවා අසීමිත ස්නේහයෙන් රසගන්වා මව් ඇකයෙහි උණුසුම ලැබදෙමින් දරුවන් පෝෂණය කරන්නී ඇයයි.. ආදරණීය අම්මා...
ළමා කළ කෙලිදෙලෙන් මාපිය වැඩිහිටි රැකවරණය මැද හැදී වැඩෙන සුරතල් දියණියකි ඇය. ක්‍රමයෙන් වැඩෙමින් යෞවනයෙහි පහස ලද ඇසිල්ලෙහි ඇයටත් අවැසි වෙයි අසීමිත ආරක්ෂාවක්.. වැඩිවියට පත් යෞවනිය සුරතල් දගවැඩ අඩුකර තැන්පත් සංවර බවක් අත්කරගනී එතැන් සිට. අධ්‍යාපනය විවාහය වැදගත් තීරණාත්මක කඩඉම් වෙයි ඇයට. විවාහයත් සමග වගකීම් රැසක උරුමකාරිනියක් වන ඇය මවක් වුණු දින සිටම මහා භූමිකාවක් රගන්නට වෙයි ජීවන රගමඩල මැද සැම සිත් තුටු කරමින්...
මවක, සොයුරියක, දියණියක, මිතුරියක මෙන්ම රටේ ශ්‍රම බලකායට දායක වෙමින් ආර්ථිකයටද ශක්තියක් වන ව්‍යවසායිකාවකගේ භූමිකාවද නිරූපනය කරන කාන්තාව පිඝිබද ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර කාන්තා දිනය සෑම වසරකම මාර්තු මස 08 වනදාට එනම් අද වැනි දිනයක යෙදී ඇත.
මේ නිමිත්තෙන් අප රටෙහිද විවිධ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.
කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වසරේ එක් දිනයක් පමණක් වෙන් නොකළ යුතු බවද, ඔවුන් සදහා වසරේ දින 365 ම වෙන් කළ යුතු අතර සිය අමාත්‍යංහයේ සේම වත්මන් රජයේද බලාපොරොත්තුව එය බවද කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා මහතා පසුගියදා කාන්තා දිනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වනදාට පමණක් සීමා නොකරමින් මාර්තු 08 වෙනිදා සිට අප්‍රේල් 07 වනදා දක්වා මසක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් දියත්කර ඇත. මෙම වැඩසටහන් මාලාව මාර්තු 08 එනම් අද ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් අරඹා අප්‍රේල් මාසේ 07 වනදා මොනරාගලින් අවසන් කිරීමටද සෑම පළාතකම මෙම කාන්තා දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යංශය සියලු කටයුතු සංවිධානය කර ඇත.
රටක් දැයක් ලොවක් වන ඇයට අභිමානවත්ව ජීවත් වීම සදහා අවැසි සියලු දොරගුලු විවර වේවායි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු..
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.