මවක, දියණියක, සොහොයුරියක මෙන්ම මිත්තණියක ලෙස මුළු මහත් සමාජයට මග පෙන්වන ධෛර්ය සම්පන්න කාන්තාවන්ගේ කැපවීම සිහිපත් කෙරෙන ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
තිරසාර සමාජයක් වෙනුවෙන් සිය ජීවිත කාලය පුරා දයාව කරුණාව හා පෞරුෂත්වය බෙදාදෙන කාන්තාවගේ අභිමානය එක් දිනකට සීමා කළ නොහැකිය. ඔවුන් ඉටු කරන අනගිභවනීය මෙහෙවර මෙතැකැයි කියා නිම කළ නොහැකි බව මාගේ විශ්වාසයයි.
මානව වංශය වෙනස් කළ සියලු ශාස්තෘවරුන් බිහිකිරීමේ පටන් මානව පැවැත්ම සාක්ෂාත් වන සියලු දෑ සඳහා කාන්තාව මුල් වූ බව නොරහසකි. ලොව නිර්මාණය වී ඇත්තේ හිරු කිරණින් හා මවු කිරෙන් බව ප්‍රකට රුසියානු ගත්කතුවර මැක්සිම් ගෝර්කි පෙන්වා දෙන්නේ මේ නිසාය.
වීර කාන්තා පරපුරක ඉතිහාසය අනුව යමින් ශ්‍රී ලාංකික කාන්තාව අද වනවිට සමාජයීය වගකීම් දරමින් නොපසුබටව ඉදිරියට පැමිණෙමින් සිටී.
මෙසේ ඉදිරියට පැමිණෙන ධෛර්ය සම්පන්න කාන්තාවන්ට ශක්තියක් වීමට අප රජය ඉදිරියටත් ක්‍රියා කරන බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.
කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පැමිණි විවිධ දුෂ්කරතා හමුවේ දුර දක්නා නුවණින්,අරපිරිමැස්මෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන මෙරට සියලු කාන්තාවන් රට හමුවේ පවතින අභියෝග ජය ගැනීම සඳහා ලබා දෙන විශිෂ්ට දායකත්වය මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය.
“තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව” තේමාවෙන් මෙවර සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනයේ දී අපගේ අපේක්ෂාව වන්නේ ද ඔබට එරෙහි ප්රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම ශ්‍රී ලාංකික ජන සමාජයෙන් තුරන් වන දිනයක් උදාකිරීමයි.
“රටකි, දැයකි, ලොවකි ඇය” දේශීය තේමාවෙන් පවත්වන ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සව මාලාව ඔස්සේ රටේ ජීවනාලිය බඳු කාන්තාවගේ භූමිකාව අපේක්ෂිත ආකාරයට නිසි ලෙස ඇගයීමට ලක්වනු ඇතැයි මම විශ්වාස කරමි.
ඔබ “ඇය”ට හිමි අභිමානය පුද දෙන්න දෙවරක් නොසිතන්න. සියලු කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබමින් සමාජය තුළ අභිමානවත්ව නැගී සිටීමට ශක්තිය ධෛර්ය උදාවේවා! යැයි ප්‍රාර්ථනා කරමි.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය