ඔහු මේ බව පැවසුවේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.
ආරක්ෂාව වෙනුවෙන් දේශපාලනඥයින් මෙම අවස්ථාවේ අනවශ්‍ය පරිදි වාහන භාවිතා නොකළ යුතු බව අවධාරණය කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ මොහොත තමන්ගේ පරමාදර්ශී කැපකිරීම රට ඉදිරියේ ඔප්පු කිරීමට හොඳ අවස්ථාවක් බවද එවිට ජනතා නියෝජිතයින් මෙම දුක තේරුම්ගෙන ඇති බවට සාමාන්‍ය පුරවැසියාට ද යම් සැනසිල්ලක් ඇතිවෙතැයි ඔහු පැවසුවේය.
ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදු ආදී ගැටලු හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත් ජනතාවක් සිටින බව පිළිගන්නා බවද, මෙය ඉතාම අර්බුදකාරී අවස්ථාවක් බවත්, මෙය එක් දේශපාලනඥයෙකුගේ ගැටලුවක් නොව දීර්ඝකාලීනව සැලසුම් නොතිබීම හේතුවෙන් විනිමය අර්බුදය තුළ අප රට දරුණු ලෙස හිරවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
අප රටේ ආර්ථිකය දහනය වන්නේ ඉන්ධන මත බවද, ඉන්ධන සදහා අපට මසකට ඩොලර් මිලියන 400ක් අවශ්‍ය බවද, දිනකට ඒ සදහා ඩොලර් මිලියන 13ක් අවශ්‍ය බවද අවධාරණය කළ අමාත්‍යවරයා, මෙරට ඉන්ධන වලින් 30%කට ආසන්න ප්‍රමාණයක් වැය වන්නේ විදුලිය ජනනය කිරීම සඳහා බවද කියා සිටියේය.
2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කාලයේ නොරොච්චෝලේ බලාගාරය ඉදිවන විට ඇතිවූ විරෝධතා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇතැයිද, එම අවස්ථාවේ නිසි නායකත්වයක් ලබාදෙමින් කටයුතු කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
අද අප රටේ දෛනික අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් එනම් මෙගාවොට් 900ක් නොරොච්චෝලේ බලාගාරයෙන් ලබාදෙන බවද කියා සිටි ජනමාධ්‍ය අමාත්‍යවරයා නොරොච්චෝලේට පසු ඉදිවූ සාම්පූර් බලාගාරයේ ගිවිසුම් අත්සන් කර හබරණ තෙක් සම්ප්‍රේෂණ මාර්ග සකස් කර පැවතියද ඉන් පසු පැවති ආණ්ඩුව එය අවලංගු කළ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙය ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කිරීමට ගොස් සිදුවූ විශාල අර්බුදයක් බවද, එක ආණ්ඩුවක, එක දේහපාලනඥයෙකුගේ, එක නායකයෙකුගේ හෝ එක ඇමතිවරයෙකු පිළිබද ගැටලුවක් නොවන බවද, මේ පිළිබදව නිශ්චිත පිතිපත්තියක් ඉතිහාසයේ නොතිබුණු බවද කියා සිටියේය.
ජනාධිපතිතුමන් ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙම පුනර්ජනනීය බලශක්තිය පිළිබදව විශේෂ සටහනක් තබමින් කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබූ බවද, දැනට අක්‍රීය වී ඇති ඇඹිලිපිටිය, මාතර, සපුගස්කන්ද ආදී දැවිතෙල් වලින් ක්‍රියාත්මක වන බලාගාර වලට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමට තීන්දුවක් ගනු ලැබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වර්තමානයේ පුනර්ජනනීය බලශක්තිය ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද, එයට ඇති බාධා ඉවත් කළ යුතු අතර නීතිමය බාධා ඇතිනම් එම බාධා ඉවත් කළ යුතුය යන දැඩි ස්ථාවරයක සිට තීන්දු ගනිමින් සිටින බවද, ඛණිජ තෙල් විෂයභාර ලොකුගේ ඇමතිතුමා එළඹෙන බ්‍රහස්පතින්දායින් පසුව ඛණිජ තෙල් අර්බුදය පිළිබදව ඇති අර්බුදය නිමා කිරීමට කටයුතු කරන බවට ඊයේ කැබිනට් මණ්ඩලයේදී සහතික වුණු බවද කියා සිටියේය.
ඊයේ දිනයේ පවිත්‍රා ඇමතිතුමිය විදුලි කප්පාදුව ක්‍රමයෙන් අඩු කරගෙන යාමේ සැලැස්මක් ඉදිරිපත් කළ බවද සඳහන් කළේය.