නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් දීපා ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු 12, සෙනසුරාදා කොළඹ 07 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේදී සැමරුම් උත්සවය පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සැලසුම් කර ඇත.
ග්‍රහලෝකාගාර යනු මොනවාද, ග්‍රහලෝකාගාරවල කාර්යභාරය සහ අහස නිරීක්ෂණයට බාධා පමුණුවන ආලෝක දූෂණ ගැටලුව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ විවිධ රටවල ග්‍රහලෝකාගාර අතර ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය ජාත්‍යන්තර ග්‍රහලෝකාගාර දිනයේ පරමාර්ථ වේ.
2022 මාර්තු 12 සෙනසුරාදා පෙරවරු 10.00 සිට 13 ඉරිදා පෙරවරු 06.00 දක්වා විශේෂ වැඩසටහන්, දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර ඇත.
ග්‍රහලෝකාගාර ඉතිහාසය හා එහි විකාශය පිළිබඳව මාර්ගගත දේශනයක් ආරම්භයේ දී පැවැත්වේ. පසුව විශේෂ ග්‍රහලෝකාගාර දර්ශන 4ක් පැවැත්වීමට නියමිතය. ජල රොකට් නිර්මාණය පිළිබඳව ප්‍රායෝගික දේශනයක් සහ ගුවන්ගත කිරීමේ සංදර්ශනයක් සංවිධාන කර තිබීම විශේෂ අංගයකි. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් පවත්වන ලද "Astro IT – 2020" පාඨමාලාවට අදාළ සහතික ප්‍රදානය
කිරීම එදින පස්වරුවේ දී සිදු කෙරේ. සැමරුම් උත්සවයේ සුවිශේෂීම අවස්ථාව වන්නේ රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර පැවැත්වීමයි. එදින (12) රාත්‍රී 8.00 ට ආරම්භ වී පසු දින (13) පෙරවරු 6.00 දක්වා රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර ක්‍රියාත්මක වෙයි.
ආරම්භයේ දී ග්‍රහලෝකාගාරය මගින් කෘත්‍රිම අහසක් නිර්මාණය කර ආකාශ වස්තු අනුසාරයෙන් මග සොයා ගැනීමේ පුහුණුව සහ තාරකා විද්‍යා දැනුම නරඹන්නන්ට ලබා දී තිබුණ ද අද වන විට ලොව පුරා ඇති ග්‍රහලෝකාගාර ගණන 4000 ඉක්මවමින් සිය මූලික අරමුණින් ඔබ්බට යමින් අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, කලාව සහ විනෝදාස්වාදය යන සියල්ල එකට එක්කර විශ්වීය ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීම් නරඹන්නන් වෙත ලබා දෙන කෙන්ද්‍රස්ථාන ලෙස ක්‍රියා කරයි.