පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම රජයේ වගකීමක් - කර්මාන්ත අමාත්‍ය

    මාර්තු 11, 2022

    සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂාකරගනිමින් ඔවුන් ඉදිරියටම ගෙන යාම ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කළ යුතු ඉතා වැදගත් කාර්යක් බවත් රට මේවන විට පත්ව ඇති තත්වයෙන් මිදීමට නම් දේශිය කර්මාන්තකරුවා රැකගනිමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් සඳහා ( 09) දින කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති මූල්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

    කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් 58 දෙනෙක් සඳහා 2021 වසරට අදාළව රුපියල් මිලියන 16 ක් මෙහිදී ප්‍රදානය කළ අතර මෙම ව්‍යාපෘතිය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතභාවය ඇතිකිරීම, නිෂ්පාදන ප්‍රවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව ඇතිකිරීම අරමුණ වේ.

    කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා පැවසුවේ පසුගිය වසර පුරා පැවති කොවිඩ් වැනි දරුණු වසංගත තත්වයකට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත දැඩි අපහසුතාවයකට පත්ව ඇති අවස්ථාවක වුවද මෙලෙස කර්මාන්තකරුවන් ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතික ලබාගැනීම යොමුවීම අපගේ සමස්ථ දේශීය කර්මාන්තකරුවන්ගේ දැඩි කැපවීම හා අධිෂ්ඨානය පෙන්නුම් කිරීමට සමත්වන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,
    “ කර්මාන්තකරුවන් මෙලෙස තම නිෂ්පාදන සඳහා ප්‍රමිතිකරණ සහතික ලබාගැනීම ඉතා වැදගත්. ඒ තුළින් ඔවුන්ට ජාත්‍යන්තර වෙළඳපළට තත්වයෙන් උසස් නිෂ්පාදන දේශීය සන්නාම යටතේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ තුළින් අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉතා ඉහළ අපනයන ආදායම් ලබාගැනීමට අවස්ථාව හිමි වෙනවා. ඒ තුළින් රටට ඩොලර් ගලා එන අතර මෙය රටේ ඩොලර් හිඟයටත් හොඳ පිළියමක්. මෙම කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ වගකීමක්. ඒ නිසා දේශීය කර්මාන්තකරුවා රැක ගනිමින් ඉදිරිගමනක් යාමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා බලාපොරොත්තු වෙනවා.,

    “ලංකාවේ දළ දේශිය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය මිට වඩා ඉහළ නැංවිය යුතුයි. අපේ රටේ කර්මාන්තවලින් 91.7% ක් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කර්මාන්ත. 9 17 000 ක් වන මෙම කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත බවට පත්කිරීමේ වගකීමක් අපි හැමෝටම තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඉතා ඉහළ නිපුණත්වයක් ඇති ජාතියක් අපි. ලෝකයේ ඉහළම මිල අධික සන්නාම සහිත ඇඟළුම් නිෂ්පාදනය කරන රට බවට පත්වීමට අපට හැකිවී තිබෙනවා. එලෙසම අනිකුත් භාණ්ඩ සඳහාද අපට ඉහළම තත්වයන් යටතේ නිෂ්පාදන සිදුකිරීමේ හැකියාව ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට තිබෙනවා.

    අද ලෝකයේ තේ රසයේ වෙනස්කම් සිදු වෙලා. 1950 - 1960 දශකවල ලංකාවේ උඩරට තේ වලට ඉහළ ඉල්ලුමක් තිබුනත් අද වන විට ඒ තත්වය වෙනස්වෙලා, පහතරට තේ වලට ඉහළ ඉල්ලුමක් ඇතිවී කිබෙනවා. අපි එම වෙනස්කම් හඳුනාගෙන ඒවාට ගැලපෙන නිෂ්පාදන ලෝක වෙළඳපළට ඉදිරිපත් කලොත් අපේ ආර්ථිකය ඉතා ඉහළ තැනකට ගෙන ඒමට හැකිවෙනවා. කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මටත් මගේ අමාත්‍යාංශයටත් ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. අනික් බොහෝ රටවල් අපට වඩා බොහෝ ඉදිරියට ගිහින්. විදේශ ආයෝජකයන් අප රටට ආදරෙන් පිළිගන්නවා වගේම දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමත් ඉතා වැදගත් වෙනවා. එම කාර්ය්‍ය මමත් මගේ අමාත්‍යාංශයත් ඉතා සතුටින් සිදුකරනවා, යැයි පැවසීය.

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අධ්‍යක්ෂ උදාසිරි පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් හාකර්මාන්තකරුවෝ රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya