පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    කොලොන්නාව රජයේ කර්මාන්තශාලාව යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩ පුළුල් කෙරේ

    මාර්තු 11, 2022

    රජයේ යාන්ත්‍රික ඉංජිනේරු ව්‍යාපෘතිවලට පමණක් සීමා වී තිබූ කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව විවෘත වෙළෙඳපොළ සමඟ තරග කරමින් යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ නව වැඩ කටයුතු පුළුල් කරමින් ඇරඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    මෙම යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ නව වැඩ කටයුතු නිසා ඇතැම් යන්ත්‍ර විදේශ රටවලින් ආනයනය නොකර නිෂ්පාදනය කිරීමට හැකිවීම තුළින් විදේශ විනිමය ඉතිරි කරගත හැකි නිසා මෙම වැඩකටයුතු කඩිනමින් සිදුකරන ලෙසට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් රජයේ කර්මාන්තශාලාවට උපදෙස් ලබා දෙන ලදී.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය යටතේ කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මඟින් මෙම නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළ යටතේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙසින් ක්‍රියාවට නැගෙන කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව මේ වන විට නව නිෂ්පාදන සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් සිටියි.

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීමත් සමඟම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කොළ අතු කැබලි කිරීමේ යන්ත්‍ර 100 ක නිෂ්පාදන ඇණවුමක් ලබා දී තිබේ. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිත රට තුළ ස්ථාපිත ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා දීම සඳහාය.

    එක දිගට පැය 06 ක් ක්‍රියාත්මක කළ හැකි මෙම යන්ත්‍රයේ ධාරිතාවය පැයකට ටොන් 01 කි. මෙම යන්ත්‍රය මඟින් කොළ අතු අඟල් 02 - 04 ත් අතර ප්‍රමාණයෙන් කුඩා කොටස්වලට කැබලි කිරීමේ හැකියාව පවතී.

    මෙම යන්ත්‍රයක දළ වටිනාකම රුපියල් හාරලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වේ. යන්ත්‍රය තුන් ආකාරයකට ක්‍රියාත්මක කළ හැකි වන සේ නිෂ්පාදනය කර තිබේ. ඒ ට්‍රැක්ටරයකට, එන්ජිමකට සහ මෝටරයකට සම්බන්ධ කිරීමෙනුයි.

    මේ සමඟ නිෂ්පාදනය කර ඇති අනෙක් යන්ත්‍ර වනුයේ ධාන්‍ය වර්ගයක් වන කවුපි ඇටවල පොතු ගලවා ඉවත් කිරීමේ යන්ත්‍රයි. එම යන්ත්‍ර ගණන 24 කි. මෙම යන්ත්‍රයක දළ වටිනාකම රුපියල් ලක්ෂ හතරහමාරකි. මෙම යන්ත්‍රය අශ්වබල 12 ක ට්‍රැක්ටර් එන්ජිමකට සවිකිරීමෙන් ක්‍රියාත්මක කළ හැකිය.

    ඉතා උසස් තත්වයේ කොටස් යොදා මෙම යන්ත්‍ර වර්ග දෙක නිෂ්පාදනය කර ඇති අතර, විදේශයන්හි සිට ගෙන්වනු ලබන යන්ත්‍ර වර්ගවලට වඩා අඩු මිලකට අලෙවි කෙරේ. මෙම යන්ත්‍ර නිතර නිතර අලුත්වැඩියා කිරීමට සිදු නොවන බවත්, එම හේතුවෙන් අමතර කොටස් නිතර නිතර අවශ්‍ය නොවන බවත්, එසේ වුවත් අමතර කොටස් අවශ්‍ය තරම් තොග පවත්වාගෙන යන බවත් කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු බී.ටී.සී. ජයසිංහ මහතා පවසයි.

    දැනට නිෂ්පාදනය කර ඇති මෙම යන්ත්‍ර දෙක වඩා ඉහළ තත්වයකට ගෙන ඒම සඳහා යාන්ත්‍රික පර්යේෂණ දිගින් දිගට ම කරගෙන යන බව කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික අධිකාරි රුක්ෂාන් ප්‍රමෝද් මහතා ප්‍රකාශ කර සිටී.

    මෙම යන්ත්‍ර වර්ග 02 නිෂ්පාදනය කිරීමෙන් 2022 වසරේ මුල් කාර්තුව තුළ රුපියල් මිලියන 70 ක විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර දීමට කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සමත්ව සිටියි.

    පසුගිය 2021 වසර තුළ පමණක් රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මෙරටට ඉතිරි කර දුන් විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 200 කි. මෙම වසරේ සිට එම ප්‍රමාණය රුපියල් මිලියන 200 සීමාව ඉක්මවා ඉතිරි කිරීමට අවශ්‍ය සැලසුම් සහ ක්‍රියාකාරකම් මේ වන විට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සකස් කරමින් සිටියි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිමල් පෙරේරා, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු කේ. පී. වතුගේ, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වැඩ අධ්‍යක්ෂ, ඉංජිනේරු බී. ටී. ඩී. ජයසිංහ, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අලෙවි, ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ වැඩ අධ්‍යක්ෂ, ඉංජිනේරු ආනන්ද විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම නිෂ්පාදනයන් රජයේ කර්මාන්ත ශාලාව මඟින් ක්‍රියාත්මක කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya