නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (09) දා පාර්ලිමේන්තුවේදී රැස් විය.
මෙහිදී අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පුහුණුව අවසන් කළ විද්‍යාර්ථයින් සඳහා පත්වීම් ලබාදීම පිළිබඳව සහ පුහුණුව සඳහා නවක විද්‍යාර්ථීන් බඳවාගැනීම පිළිබඳ සාකච්ඡා විය. එසේම විද්‍යාපිඨ පුහුණු ගුරුවරුන්ට ලබාදෙන පුහුණුවේ ගුණාත්මක බව තවත් වැඩිකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ යම් යම් කරුණු පිළිබඳ මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කළේය. එසේම වතු පාසැල්වල ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව වැනි විෂයන් ඉගැන්වීමට ගුරුවරු ප්‍රමාණවත් නොවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. තවද 2016 වර්ෂයට පෙර විශ්‍රාම ලැබූ ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
මෙම උපදේශක කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, වෛද්‍ය සීතා අරඹේපොල, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, චාල්ස් නිර්මලනාදන්, අනූප පැස්කුවෙල්, යදාමිණී ගුණවර්ධන, ආචාර්ය හරිනි අමරසූරිය, චන්දිම වීරක්කොඩි, රෝහිණී කුමාරි විජේරත්න, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මුදිතා ප්‍රිශාන්ති සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුලු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වූහ.