රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද( මාර්තු 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියානු සහ ශාන්තිකර කලාපයේ අධ්‍යක්ෂ ඊයේ (මාර්තු 14දා) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බවත්, අද (මාර්තු 15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ දැක්ම පෙන්වාදීමට කටයුතු යොදා ඇති බවත්,අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අනාගත යෝජනා ඇත්නම් ඒවා කුමක්ද යන්න මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා; කිසිඳු ආණ්ඩුවක් තමන්ගේ බලය පවතින කාලය තුළදී භාණ්ඩ මිල ඉහළ යෑම මෙන්ම භාණ්ඩ හා අවශ්‍යතා සම්බන්ධයෙන් පෝලිම් පැවතීම පිළිබඳව සතුටු නොවන බවත්, ජනතාවට වඩාත් පහසුකම් ලබාදීම තම අරමුණ බවත් පැවසීය. ඒ කෙසේ වුවද 1977 සිට මේ රටේ පැවති සෑම ආණ්ඩුවක්ම ණය ලබාගත් බවත්, එය ක්‍රමාණුකූලව ගෙවූ බවත්, එසේ වුවද 2020දී ඇතිවූ කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ සංචිත පහළට ගිය බවත්, 2020/21 වර්ෂය තුළ පමණක් මෙරටට ඩොලර් බිලියන 10ක විදේශ ප්‍රේෂණ අහිමි වූ බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විදේශ සංචාරක ව්‍යාපාරය හා විදේශ ප්‍රේෂණ පැමිණීම අඩුවීම හේතුවෙන් ඇතිවූ මෙම තත්ත්වය යටතේ ඉදිරි වසර 12ක් තුළ ගෙවිය යුතු ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 42ක මුදලට අහිතකර බලපෑමක් ඇති කළ බවත්, මෙම අර්බුදය පැමිණ ටික කලකදී මෙරටට වාහන වැනි සුඛෝපබෝගී භාණ්ඩ ගෙන්වීම නතර කළ බවත්, මෙරට වගා කළ හැකි සෑම දෙයක්ම පිට රටින් ගෙන්වීම නතර කළ බවත්,අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මෙම තත්ත්වය යටතේ නැවතත් නැඟි සිටීමට කටයුතු කරන මොහොතේ රුසියාව සහ යුක්රේනය අතර යුද තත්වයක් මතුවී ඇති බවත්, ඒ හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, මෙම අර්බුදයෙන් ගොඩඒමට වත්මන් ආණ්ඩුව විවිධ විශේෂඥයන් හා ආයතනවලින් උපදෙස් ලබාගන්නා බවත්, රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.
විදේශ ආනයන වෙනුවෙන් ඩෙලර් බිලියන 20කට අධික මුදලක් වෙන්කරන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික වෙළඳ හිඟය ඩොලර් බිලියන 10ක් පමණ වන බවත්, වාර්ෂික අලාභය පියවාගැනීම සිදු කරනුයේ සංචාරක කර්මාන්තය , විදේශ ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ හා ඍජු විදේශ ආයෝජන යොදාගෙන බවත්, මෙම සියල්ලම පසුගිය වසර 02දී අකර්මණ්‍ය වී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
වත්මන් ආණ්ඩුව ගෙවනුයේද තමන් විසින් ගත් ණය නොවන බවත්, මෙම ණය සම්බන්ධ කළමනාකාරිත්වය උපරිමයෙන් සිදු කරන බවත්, ආණ්ඩුව ලෙස මෙන්ම පෞද්ගලිකවද තමන් කැපකිරීම් උපරිමයෙන් සිදු කර ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.