ඒ අනුව තමාගේ සභාපතීත්වයෙන් දැනට ක්‍රියාත්මක පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කළ බවත්, එහි කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, මැතිවරණ කොමිසම සංවිධාන කළ, "ඡන්ද හිමියන්ගේ දින ජාතික සැමරුමට- 2022" උත්සවයට කොළඹදී එක්වෙමිනි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම උත්සවයට කථානායකවරයා, අමාත්‍යවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, විදේශ තානාපතිවරුන්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන්, මැතිවරණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් ආදි පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ ඡන්ද ක්‍රමය ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ලබාදෙන වැදගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශාල කාලයක් ගතවීම, එවැනි සියලු කාරක සභා අඛණ්ඩව මුහුණ දුන් බරපතළ ප්‍රශ්නයක් බවය. මීට පෙර ඉදිරිපත් වූ, අවුරුදු 18න් ඡන්ද අයිතිය ලබාදීම, ඡන්දයට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම, මිශ්‍ර ඡන්ද ක්‍රමය ආදී යෝජනා ඊට උදාහරණ කිහිපයක් බවද ඔහු පැවසීය.