ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රි ලංකාවේ ප්‍රතිචාරය පිළිබඳව වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
මානව හිමිකම් කොමසාරිස්වරිය තම කාර්යයාලය හරහා නිකුත් කරන වාර්තාව සම්බන්ධ ඇතැම් කරුණු පිළිබඳව එකඟ විය නොහැකි බවත්, මහා කොමසාරිස්වරියගේ එම වාර්තාවේ බොහොමයක් අඩංගු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු සම්බන්ධව වන අතර රටක අභ්‍යන්තර දේශපාලන කටයුතු සම්බන්ධ වන අතර එකී කරුණු එක්සත් ජාතීන්ගේ විෂය කිසිසේත් අදාළ නොවන කරුණු බවත්, හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේ ය.
එපමණක් නොව තුනෙන් දෙකක බලයක් ජනතාව විසින් ලබා දී පත් කරගත් රජයකට අත පෙවීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිසේත් සදාචාරාත්මක අයිතියක් නැති බවත්, හුදෙක් මෙරට අභ්‍යන්තර කරුණ සම්බන්ධව දිගින් දිගටම විමර්ශන පවත්වා වාර්තා ඉදිරිපත් කරන්නේ නම් සියලුම රටවල් එක සේ සලකා මෙරටට පමණක් නොව සියලු රටවල් වල අභ්‍යන්තර කරුණු වලට අත පෙවීම කළයුතු බවත්, එහෙත් එසේ නොකර හුදෙක් ලංකාවට පමණක් මෙලෙස සිදු කරන්නේ ඇයි ද යන්න ගැටළු සහගත වන බවත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී කියා සිටියේ ය.
එමෙන්ම, මෙමඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික නීතිරීති හා සංස්කෘතියට ඍජුව පටහැනි වන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අඩිතාලම වන්නේ සියලුම රටවල් එකසේ සැලකීම වන බවත්, එහෙත් මෙවැනි කටයුතු වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව ජගත් ප්‍රජාවගේ විස්වාසය පළුදු වීම වැළක්විය නොහැකි බවත්, ඇතැම් රටවල් වලට එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගත නොහැකිව සිටින මොහොතක මිලියන ගණනක් වියදම් කර මෙරට අභ්‍යන්තර කටයුතු සෙවීම ඉතාම අසාධාරණ වන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
පසුගිය රජය කළා සේ ම සියලු දේ ඉහළින් පිළිගෙන ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන්නේ නම් කිසිඳු ගැටුමකින් තොරව සියලු රටවල සහයෝගය ලබා ගත හැකි බවත්, එහෙත් ජනතාව පසුගිය රජයේ එකී මත වලට විරුද්ධ වූ නිසා වත්මන් රජය බලයට පත් වූ බව අමතක නොකළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, මේ රටේ ශුභ සිද්ධිය පිලිබඳ ව අවංක තැකීමක් ඇති රජයක් වශයෙන් මේ රටේ ආත්ම ගරුත්වය, ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම වත්මන් රජය යුතුකම බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කළේය. පසුගිය යහපාලන රජයේ විස්වාස, වත්මන් රජයේ සංස්කෘතිය සහ මුලික විස්වාසය වලට සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර එවකට සිටි නායකයින් ජාත්‍යන්තරය දින ගත් බවට ප්‍රකාශ නිකුත් කොට ඇත්තේ මෙරට ත්‍රිවිධ හමුදාව ඇතුළු සියල්ල පාවා දීම නිසා බව හෙතෙම කියා සිටින ලදුව මෙරටට විරුද්ධවන රටවල් පිනවීම සඳහා මෙරට ත්‍රිවිධ හමුදාව, දේශපාලනඥයන් ඇතුළු මෙරට සියලු ජනතාව පාවා දීමට කිසිඳු අවස්ථාවක නැති බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම මාධ්‍ය සකච්ඡාව සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සහභාගී වූහ.