පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    සීප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලය නවීකරණය කර පාඨමාලා ආරම්භ කෙරේ

    මාර්තු 18, 2022

    වසර ගණනාවක සිට වසා දමා තිබු අනුරාධපුර සීප්පුකුලම ශ්‍රි ලංකා සත්ත්ව පාලන විද්‍යාලය නවීකරණයෙන් පසු නැවත පාඨමාලා ආරම්භ කිරීම සහ නවක සිසුන් බදවා ගැනීම (16) පෙරවරුවේ පශුසම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී සිදු කෙරිණ.


    ඊයේ (16) ආරම්භ කල සත්ත්ව පාලන තාක්ෂණය පිළිබඳ ජාතික උසස් ඩිප්ලෝමා පාඨමාලාවට (Higher National Diploma in Livestock Production Technology ) සිසු සිසුවියන් 70 දෙනෙක් බඳවා ගනු ලැබූහ. වසර දෙකක පුහුණු කාල සීමාවකින් පසුව පාඨමාලාලාභීන්ට NVQ 5-6 මට්ටමේ තත්ත්ව සහතිකයක් පිරිනැමේ.

    මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය නවීකරණය කර දෙස් විදෙස් රැකියා වෙළෙඳපොලට ගැලපෙන අයුරින් සකස් කර ඇත. අ.පොස. (උ.පෙ.) විද්‍යා, කෘෂිකර්ම සහ තාක්ෂණ විෂය ධාරාවෙන් එකවර විෂයයන් තුනක් සමත්වන සිසුන්ට මේ සදහා ඉල්ලුම් කළ හැක.

    ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ සත්ත්ව සංවර්ධන උපදේශක තනතුරට පත්වීමේ මූලික සුදුසුකම පාඨමාලාලාභීන්ට හිමිවන අතර ඊට අමතරව දේශීය හා විදේශීය ක්ෂේත්‍රයේ පුද්ගලික සත්ත්ව ගොවිපොළ සඳහා ගොවි කළමනාකරු ,කෘතිම සිංචන ශිල්පී තනතුර සදහා විශාල ඉල්ලුමක් පවතී. වෘතීයමය හැකියාවක් ඇති පුහුණු ශ්‍රමිකයන් පිරිසක් රටට දායාද කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම පාඨමාලාව මඟින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ස්වයං හැකියාවක් ඇති තරුණ තරුණියන් පිරිසක් බිහි කිරීමට අපේක්ෂිතයි.

    පාඨමාලාව නොමිලේ පැවැත්වෙන අතර පුහුණු කාල සීමාව තුල පාඨමාලාලාභීන්ට නේවාසික පහසුකම් සහ මාසිකව රුපියල් 6000/- ක මූල්‍ය ආධාරයක් පිරිනැමේ.

    මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු, අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සමෘද්ධි, ගෘහ ආර්ථික ,ක්ෂුද්‍ර මූල්‍ය ,ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පශුසම්පත් ,ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරුණ සමරදිවාකර, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලී කොතලවල, මිහින්තලේ ප්‍රාදේශීය සභා සභාපති මහිලාල් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya