අමාත්‍යවරයා මෙලෙස ඉල්ලා සිටියේ, අද (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පොහොර බෙදාදීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
යල කන්නයට මේ වන විට ගොවීන් සූදානම් වන බවත් නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපු දිස්ත්‍රික්කවල සහ අනෙකුත් දිස්ත්‍රික්කවල ගොවීන් කෘෂිකර්මාන්තයේ නියැලී සිටින බැවින් යල කන්නය වන විට ගොවීන්ට අවශ්‍ය පොහොර, පළිබෝධනාශක, දිලීර නාශක ආදී සියල්ල වෙළදපොළ හිඟයකින් තොරව ලබාදීම රජයේ මූලික වගකීම බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පසුගිය මහ කන්නයේ රජය හරිත කෘෂිකර්මාන්තයට නියැළීමත් සමග එම පරිවර්තනයේදී යම් යම් අඩුපාඩු සිදුවූ බවත්, ඇතැම් ස්ථාන වලට වෙලාවට පොහොර ලබාදීමට නොහැකි වූ බවත් සිහිපත් කළ අමාත්‍යවරයා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පසුගිය මාස 06 තුළ පූර්ණකාලීනව මේ පිළිබඳ අධ්‍යයනයක් කරන බවත්, ජනාධිපතිතුමා මීට යුධ හමුදාවේ සහාය ද ලබාදුන් බවත් කියා සිටියේ ය.
මේ වන විට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා දිස්ත්‍රික් මට්ටමෙන් පොහොර යැවීමට කටයුතු කර ඇති බවත්, මහකන්නයේ වගා කළා සේම යල කන්නයේත් හෙක්ටයාර ලක්ෂ 05ක් අස්වැද්දීමට නියමිත බවත් බිය නොවී වගාවේ නියැලෙන ලෙසද සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
අනෙකුත් භෝග එනම් එළවළු, පළතුරු සහ බඩඉරිගු වැනි භෝග සඳහා රසායනික පොහොර ආනයනයට අවසර දී ඇති බැවින් වෙළදපොළේ එම පොහොර සහ පළිබෝධනාශක ගැනීමට ගොවීන්ට හැකියාව ඇති බවද කියා සිටියේය.
මෙම භෝග වල මිල යම් ඉහළ යාමක් ලෝක වෙළදපොලේ ඇති බවද, සියලුම රට වල පොහොර මිල ඉහළ ගොස් ඇති බවද මේ වන විට තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනය කිරීමේ අනුමැතිය ලබාදී ඇති බවද ඔහු පැවසුවේය.
තේ වැනි අනෙක් භෝග සඳහා රසායනික පොහොර තහනමක් නොකර ආනයනයට අවසර ලබාදී ඇතැයිද, ගොවීන් වෙනුවෙන් හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් රජය සහනාධාරය ලබාදෙන්නේ කාබනික පොහොර වලට පමණක් බවද කියා සිටියේය.