1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14 (ඒ) අපරාධ පිළිබඳ විමර්ශන වලට සහ අපරාධ නඩු කටයුතු වලට සම්බන්ධ ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා අවශ්‍ය අවස්තා වලදී උචිත පියවර ගැනීම ප්‍රකාරව අපයෝජනයට පත් ළමයින් නැවත නැවතත් වින්දිතභාවටය පත්වීමෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණූ රැසකින් යුක්තව සාක්ෂි වීඩියෝ පටිගත කිරිමේ
කටයුතු පළමු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කර මේ දක්වා දශක දෙකකට අධික කාලයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දී පවත්වාගෙන යන ලදී. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2001 වර්ෂයේ ජනවාරී 08 වන දින වින්දිත ළමයෙකුගේ පළමු සාක්ෂි පටිගත කිරීම සිදු කරන ලදී.
ළමා අපයෝජනයන්ට ගොදුරුවූවන් ආරක්ෂා කිරිම සහ ඔවුන්ගේ අයිතීන් රැකගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු නෛතික වගකීමකි. ළමා ආරක්ෂක අධිකාරියේ තාක්ෂණික වෘත්තිකයන් මගින් සාක්ෂි වීඩියෝ පටිගත කිරිමේ කටයුතු සිදු කිරිම කරන අතර එහිදී මනෝ සමාජීය මැදිහත් කරනය, නීතිය බලාත්මක කිරීම, නඩු කටයුතු සහ විමර්ශන නියාමනය, ආදී කටයුතු රැසක් ළමා මිතුරු පරිසරයක් තුළ ක්‍රියාත්මක කරයි.
1999 අංක 32 දරණ සාක්ෂි විශේෂ විධිවිධාන පනතේ ඇති බලතල ප්‍රකාරව, මෙම වීඩියෝ සාක්ෂි පටිගත කිරීම් සිදුකරන අතර 2021 ජූලි මස 20 වන දින අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අපයෝජනයට ලක්වූ ළමයින් විසින් ලබාදෙන සාක්ෂි වීඩියෝ පටිගත කිරිම සඳහා ඒකක 09 ක් රෝහල් ආශ්‍රිතව පළාත් මට්ටමින් දිවයින පුරා ස්ථාපිත කිරිමේ පළමු අදියර ලෙස 2022 මාර්තු මස 23 වැනි දින පෙ.ව.10.00 ට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් හා වෘත්තිකයන් රැසකගේ සහභාගිත්වයෙන් රාගම උතුරු කොළඔ ශික්ෂණ රෝහල් ළමා පියස පරිශ්‍රයේ දී සිදු කෙරේ.
උදයකුමාර අමරසිංහ
සභාපති
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය