ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාවය තුළින් දෙරට වෙනුවෙන් සිය සංවර්ධන දැක්ම සාක්ෂාත් කරගැනීමේ මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වේ.
මෙහිදී ශ්‍රී ලංකා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ විවිධ හැඳින්වීම් හා විස්තරාත්මක ඉදිරිපත්කිරීම් කිහිපයක් පැවැත්විණි. ඒ අනුව, තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ආයෝජන අවස්ථා මෙන්ම මෙරට මෑත කාලීනව වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ ජලජීවී රෝපණය වෙනුවෙන් සිදු කළ හැකි ආයෝජන අවස්ථා කෙරෙහි ඉන්දීය රජයේ වැඩි අවධානයක් යොමු කර තිබේ. එමෙන්ම මෙම ආයෝජන අවස්ථා තුළින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය වඩා ව්‍යාප්ත කරමින් ගෝලීය වෙළෙඳපොල තුළ වැඩි අවකාශයක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබා දීමට ද කටයුතු සලසා ඇත.
විදෙස් රටවල් හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ අපනයන අංශය ව්‍යාප්ත කරගැනීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දසාමි මහතා විසින් මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී. ඒ අනුව මෙම ආයෝජන අවස්ථා තුළින්, මූලික වශයෙන්ම අවධානය යොමු කෙරෙන අංශ හා එමඟින් ඇති වන යහපත් බලපෑම් පිළිබඳව ද, ක්‍රියාත්මක කර ඇති වාණිජ පද්ධතීන් සම්බන්ධයෙන්ද ඉන්දීය රජය වෙනුවෙන් ආන්ද්‍රා ප්‍රදේශයේ වාණිජ යටිතල පහසුකම් සංස්ථාවේ සභාපති ශ්‍රී ජේ.වී.එන් සුබ්‍රමනියම් මහතා විසින් කරුණු දක්වන ලදී. එමෙන්ම දෙරට අතර ආනයන-අපනයන වෙළෙඳ ප්‍රජාව සම්බන්ධීකරණය තුළින් වෙළෙඳ සහයෝගීතාවය වර්ධනය කරගැනීමට ද කටයුතු සලසන ලදී.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දසාමි මහතා, CII ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් එහි ප්‍රධානී සුනිල් සුරේෂ් උපලප් මහතා, ඉන්දු-ශ්‍රී ලංකා වෙළෙඳ හා වාණිජ මණ්ඩලයේ උප සභාපති එම්.රඝුරමන් මහතා, ඉන්දියන් CEO මණ්ඩලයේ සභාපති ටී.එස්.ප්‍රකාශ් මහතා සහ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව සිටියේය.