වාර්ෂික අයවැයට සමගාමීව අංක 01/2014 රාජ්‍ය මුදල් චක්‍රලේකයේ උපදෙස් අනුව නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුමත කොට ඒ අනුව ක්‍රියාත්මකවිය යුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කොළඹ මහ නගර සභාවට අවධාරණය කර සිටියේය. 2020 සහ 2021 වර්ෂවල නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුමත කර ගැනීමෙන් තොරව කටයුතු කර ඇති බවට විගණකාධිපති වාර්තා මගින් අනාවරණය වී ඇති බැවින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බව කමිටුව මෙහිදී අවධාරණය කළේය.
කොළඹ මහනගර සභාවේ 2017/2018 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා පසුගියදා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ
සභාපතීත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසුවේ භාණ්ඩාගාරය විසින් 2020 වසරේදී මුල්වරට හදුන්වා දුන් මෙය පැවති කොවිඩ් තත්ත්වය තුළ ප්‍රායෝගිකව සිදු කිරීමේ ගැටලු මතුවූ බවයි. කෙසේ වෙතත් කමිටුව පෙන්වා දුන්නේ මෙම තත්ත්වය නිවැරදි කොට 2022 වසරේ සිට නිසි ක්‍රියාකාරි සැලැස්මක් සහිතව කටයුතු කළ යුතු බවයි.
මහනගර සභාවේ හිග ආදායම් පිළිබදව ද මෙහිදී කමිටුවේ අවධානය යොමු වූ අතර ඒ පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ඉදිරි දිනකදී නැවත කැඳවන බවත් එහිදී සභාවේ පසුගිය වසරවලට අදාළ සියලු ආදායම්, වියදම්, හිග ආදායම් සහ මහජන ආධාර පිළිබඳ දත්ත සහ සංඛ්‍යාලේඛන කමිටුවට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, දුමින්ද දිසානායක, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, නිරෝෂන් පෙරේරා, එස් ශ්‍රීතරන්, හේෂා විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, බී.වයි.ජී රත්නසේකර සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මන්ත්‍රීවරයන්ද රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.