මෙම සමුළුවට සමගාමීව සාකච්ඡාවක නිරත වූ අමාත්‍යවරු දෙදෙනා, අනාදිමත් කාලයක පටන් දෙරට අත්‍යන්ත වශයෙන් සම්බන්ධ කොට ඇති, කොළඹ සහ නවදිල්ලි නුවර අතර පවත්නා දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සබඳතාවල පුළුල් වපසැරිය පිළිබඳව සමාලෝචනය කළහ.
දෙරට අතර පවත්නා සබඳතා පිළිබඳ කරුණු විමසූ නායකයන් දෙදෙනා, දිනෙන් දින වර්ධනය වන ද්විමාර්ග බැඳීම් සම්බන්ධයෙන් සිය තෘප්තිය පළ කළ අතර, දෙරට භුක්ති විඳින ශක්තිමත් සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා පවතින මාර්ග සහ විධික්‍රම ගවේෂණය කිරීමට තීරණය කළහ.
අතිගරු ජනාධිපතිවරයා සහ රජය, පසුගිය සතියේ දී දෙමළ ජාතික සන්ධානය (TNA) සමඟ පැවැත්වූ සාර්ථක සාකච්ඡාව පිළිබඳව විස්තර කළ අමාත්‍ය පීරිස් මහතා, සංහිඳියාව සම්බන්ධයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන ජනතාව දක්වන උද්‍යෝගය ජනාධිපතිවරයාගේ ඇගයුමට ලක් වූ බව සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව හා සබැඳි ගැටලු විසඳීම සඳහා මෙන්ම, එම ගැටලුවලට දිගුකාලීන විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ලබා ඇති ධනාත්මක ප්‍රගතිය අමාත්‍ය ජයශංකර් මැතිතුමාගේ පැසසුමට ලක්විය.
ඉහළ පෙළේ නිරතවීම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අමාත්‍ය පීරිස් මහතා, දෙරට අතර පවත්නා සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායක වන බවද ප්‍රකාශ කළේ ය.
අභියෝග රැසක් මධ්‍යයේ බිම්ස්ටෙක් සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත සිය ස්තුතිය පළ කළ ආචාර්ය ජයශංකර් මහතා, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සමුළුව ඵලදායී සමුළුවක් වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා ඉන්දීය රජයේ සහය ලබා දෙන බවට සහතික වූ ඉන්දීය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සමීප අසල්වැසියෙකු වන ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සැබෑ ගැටලු පිළිබඳව අවබෝධ කරගෙන සිටින බව පැවසීය