පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ක්ෂය රෝගීන් පරීක්ෂා කර නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

    මාර්තු 30, 2022

    දිවයින පුරා පිහිටුවා ඇති රෝගී පරීක්ෂණ ස්ථාන සහ සායන මගින් රෝගීන් පරීක්ෂා කර නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර.

    “ජිවිතයට ආයෝජනයක් - ක්ෂය රෝගයෙන් තොර රටක් යන්න” තේමා කර ගනිමින් මෙවර ලෝක ක්ෂය රෝග දින ජාතික වැඩසටහන පසුගියදා කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    සෑම වර්ෂයකම ලෝක ක්ෂය රෝග දිනය මාර්තු මස 24 දිනට යෙදෙන අතර, මෙවර ජාතික ක්ෂය රෝග දින ජාතික වැඩසටහනේ දී “ක්ෂය රෝගය ගැන ලෝකයට කියලා දෙමු” යන තේමාව යටතේ වයස් කාණ්ඩ 05 ක් යටතේ පවත්වනු ලැබූ චිත්‍ර තරගයේ ජයග්‍රාහි දරුවන්ට සහතික සහ ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරිණි. මෙම චිත්‍ර තරගය සදහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි දරුවන් විසින් චිත්‍ර 2000 කට අධික ප්‍රමාණයක නිර්මාණ ඉදිරිපත් කර තිබු අතර ක්ෂය රෝග හා ලය රෝග මර්දන පිළිබද ජාතික වැඩසටහන මගින් මෙම චිත්‍ර තරගාවළිය පැවැත්වීමට කටයුතු කර තිබුණි.

    මෙහිදී ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිර්මාණය කරන ලද ක්ෂය රෝගය පිළිබද වූ විශේෂ ගීතය එළිදැක්වීම ද සිදු වූ අතර, ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් ජාතික ක්ෂය රෝග දිනය වෙනුවෙන් නිකුත් කරන ලද සුභාෂිංශණ පණිවුඩ එම වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විසින් සභාවට ඉදිරිපත් කිරිම ද සිදු විය.

    රෝගකාරක බැක්ටිරියාවකින් බෝවන, ශ්වසන මාර්ගය ආශ්‍රීත රෝගයක් ලෙස ක්ෂය රෝගය හදුන්වනු ලබයි. 2020 වසරේ දී මෙරටින් ක්ෂය රෝගීන් 7258 ක් වාර්තා වී ඇත. 2021 වසරේ දී රෝගීන් 6771 ක් වාර්තා වී ඇති අතර, එම වසරේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

    සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් පවතින කැස්ස, මද උණ, ශරීරයේ බර අඩුවීම, ආහාර අරුචිය, රාත්‍රියට දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව, හතිය, කහින විට ඇතිවන පපුවේ වේදනාව, සෙම සමග ලේ පිටවීම ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වේ.

    දිවයින පුරා ස්ථාපිත කර ඇති ළය සායන 26 ක්, සෙම පටල පරීක්ෂා කරන මධ්‍යස්ථාන 160 කට වැඩි සංඛ්‍යාවක්, ශාඛා සායන 108 ක් මගින් රෝගීන් පරීක්ෂා කර නොමිලයේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සළසා ඇත. මෙම මධ්‍යස්ථාන වෙත යොමු වීමෙන් තමන් ක්ෂය රෝගියෙකු ද යන්න කල්තියා හදුනා ගත හැකි අතර, ඒ අනුව ප්‍රතිකාර සදහා යොමුවීමේ හැකියාව ලැබෙනු ඇත.

    ක්ෂය රෝග දින ජාතික වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.එම් ආනල්ඩ්, ක්ෂය රෝග හා ලය රෝග මර්දන පිළිබද ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුලු පාසල් දරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya