මේ වන විට සියලුම ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් 1,081,000 කට රුපියල් 30 ක් වටිනා අහාර වේලක් සතියට දින 5ක් සැපයේ. පළමු සතිය, තෙවන සතිය, දෙවන සතිය හා සිව්වන සතිය ලෙස වර්ග කර දරුවාට අවශ්‍ය ප්‍රෝටීන් හා කැලරි ප්‍රමාණය අඩංගු වන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත ඉහත වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
කාන්තා හා ළමා පෝෂණය සෞඛ්‍ය හා සුරක්ෂණය මාතෘකාකොට අද (31) රජයේ ප්‍රවෘත්තු දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ තොරතුරු සඳහන් කළේය.
පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන්ට අවශ්‍ය පෝෂණය සහිත ආහාරවේල ලබාදීමට රජය තීරණය කර ඇත. ආහාරවේලෙහි බත් හා ප්‍රෝටීන් සංයුතිය තාවකාලිකව යම් වෙනසක් සිදු වුවද ඊට ආදේශකයක් ලෙස ගස්ලබු හෝ ප්‍රදේශයෙහි සුලබව සොයා ගත හැකි පලතුරක් ආහාරවේලට එක් කිරීමට උපදෙස් දී ඇත.අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය ඒකකය, ලෝක ආහාර වැඩපිළිවෙල හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තාවකාලික ආහාරවේල නිර්දේශ කර තිබේ.
ළමා හා කාන්තා පෝෂණ අභිවෘද්ධිය පිණිස ප්‍රමුඛතා 14ක් යටතේ විශේෂ ප්‍රතිපත්තිමය වැඩසටහන් සැලසුම් කර ඇත. යටිතල පහසුකම් සංවර්ධනය සමග කාන්තාවන්ගේ සහ ළමුන්ගේ මානසික තත්ත්වය දියුණු කිරීම ඉතාමත් වැදගත් බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය පැවසුවාය.එසේම කාන්තාවන්ගේ හා ළමුන්ගේ මානසික තත්ත්වය දියුණු කිරීමට ලෝක ළමා දිනය හා ජාත්‍යන්තර කාන්තා දිනය මූලික කොට ගනිමින් විශේෂ වැඩසටහන් ගණනාවක් රට පුරා ක්‍රියාත්මක කර ඇතැයි ලේකම්වරිය කීවාය.
වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ගෙවතු වගාව මගින් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකිනම් නොබෝ දිනකින් පෝෂණ ගැටලුවලට පිළිතුරු ලැබෙනු ඇතැයි ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පෙන්වා දුන්නාය.