පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    රට අරාජික කර,අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා

    අප්‍රේල් 01, 2022

    රට අරාජික කර,අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා- සංචාරක අමාත්‍ය

    රට අරාජික කරමින්, අර්බුදකාරී තත්ත්වයක්  රටේ නිර්මාණය කර දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    මේ  තත්ත්වය ඊයේ ජනාධිපතිවරයාගේ නිවස අසළ ඇති වූ සිදුවීමෙන් පෙනෙන්නට තිබෙන බව අද(01) එම සිදුවීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    "රටේ ජනතාවට විවිධ ගැටළු තිබෙනවා. එහෙත් මෙවැනි දේ කිරීමෙන් රට තවත් අරාජික වෙනවා. 88-89 භීෂණ කාලය අපට මතකයි. එයින් රට ගොඩ ගියේ නැහැ.රට ආපස්සට ගියා මිසක්."

    ජාතික දේපළ, රාජ්‍ය දේපළ විනාශ කරමින් සහ පෞද්ගලික දේපළ හානි කරමින් කටයුතු කළ එම අවස්ථාවේදී , අවම බලය පාවිච්චි කරමින් උද්ඝෝෂණය විසුරුවා හැරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

    බස් රථ වලට ගිනි තැබුවේ හමුදාව බව පෙන්වීමට, ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇතැම් දේශපාලන පක්ෂ මේ උද්ඝෝෂණයේදී කටයුතු කළ ආකාරය හෙළි කල හැකි බවද අවධාරණය කළේය.

    කොවිඩ් වසංගත තත්වයෙන් පසු ඉතාමත් කෙටි කාලයක් ඇතුළත නොයෙකුත් බාධක මධ්‍යයේ මෙරටට සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගෙන්වා ගැනීමට හැකි වූ බවත්, වසංගත තත්වයෙන් පසු විදෙස් සංචාරකයින් 280,000ක් මේ වන විටත් රටට පැමින තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඩොලර් මිලියන 500 ගණනක ආදායකමක් අද වන විටට සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබී අතැයිද පැවසීය.

    "රටේ අද පවතින අර්බුදය ඩොලර් හිග කමයි. ඊට තිබෙන එක් විසඳුමක් තමයි සංචාරකයින්ගේ පැමිණීම. මේ වෙලාවේ රටේ අර්බුදයක් ඇති බව අපි පිළිගන්නවා. එහෙත් මේවා අපි කළ පව් නෙවෙයි. "

     මෙම අවස්ථාවේ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට, සංචාරකයින්ට මේ රට සුරක්ෂිත රටක්ය යන පණිවිඩය ලෝකයට ගෙන යාමට එකතු වන්නැයිද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     

     සාධාරණ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ - සෞඛ්‍ය ඇමති

    ඊයේ ජනාධිපතිවරයාගේ නිවස අසල සිදු වූ කලහකාරී සිදුවීම පැහැදිළිව ම දේශපාලන අන්තවාදී ක්‍රියාවක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේය.

    මෙහි දී තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍යවරයා,

    “ජනතා විරෝධය ප්‍රකාශ කරන විදියක්, ශිලාචාර ක්‍රමවේදයක් තිබෙනවා. ජනතා විරෝධය යනු කුමක්ද යන්න දැක තිබෙන සහ එවැනි ජනතා විරෝධ සිදු කළ පුද්ගලයින් අපි. සත්‍යග්‍රහ පවත්වා, උද්ඝෝෂණ පවත්වා පැමිණි පිරිස් අපි. නමුත් ඒ කිසිඳු අවස්ථාවක අල්පෙනෙත්තක තරම් දේ කඩාකප්පල් කිරීමට ගියේ නැහැ. ඒ නිසා පැහැදිළිවම මෙම සිද්ධිය පිටුපස තිබෙන්නේ දේශපාලන අන්තවාදයක් ”

    රජයට විරුද්ධවන සහ රජයේ යම් යම් ක්‍රියාකලාපයන්ට විරුද්ධව විපක්ෂයක් ලෙස ඉතාමත් සාධාරණව උද්ඝෝෂණය කරන පිරිස සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

     

     සාමාකාමී උද්ඝෝෂණයකට ආරක්ෂක අංශ බාධා කළේ නැහැ - රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම

    උද්ඝෝෂකයින් විසින් කලහකාරී ලෙස හැසිරෙමින් , ආරක්ෂක අංශ සතු රථවාහන වලට ද බරපතල හානි කිරීමේ දී වුව ද ඉතාමත් ඉවසිලිවන්තව සහ අවම බලය භාවිතා කරමින් කටයුතු කළ බව ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

    එම අවස්ථාවේ දී ආරක්ෂක අංශ වල නිලධාරීන් ද තුවාල ලබා ඇති බවත්, එහෙත් සාමකාමී උද්ඝෝෂණයට කිසිසේත් බාධා කිරීමට ආරක්ෂක අංශ විසින් සිදු කර නොමැති බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ,උද්ඝෝෂකයින් විසින් ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්ෂාවට තිබූ තුන්වන මුර කපොල්ලද පෙරලාගෙන ඇතුල්වීමට ගත් උත්සාහයේදී ,අවම බලය භාවිතා කරමින් කදුළු ගෑස් යොදවා තත්වය පාලනය කිරීමට කටයුතු කළ බවත් හෙතෙම කියා සිටියේය.

    එමෙන්ම, සිද්ධියට අදාළව රාජ්‍ය දේපොළ වලට හානි කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තීරණය කරනු ලබන්නේ අමාත්‍යවරුන් විසින් නොව පොලිසිය විසින් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya