2022 මාර්තු 30 වැනි දින කොළඹ පැවති බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය නාරායන් ඛඩකා මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය. මෙම හමුව අතරතුර, දෙරට අතර දිනෙන් දින වර්ධනය වන ද්වි-මාර්ගික බැඳීම පිළිබඳව තෘප්තිමත් වූ විදේශ අමාත්‍යවරු දෙපළ, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නේපාලය පවත්වාගෙන යන ප්‍රතිපත්තිමය ස්ථාවරය සහ 2022 මාර්තු මස ජිනීවා හි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී නේපාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැක්වූ සහයෝගීතාව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතාගේ පැසසුමට ලක් විය.
කොළඹ සහ කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීමට ඉවහල් වන බැවින්, දෙරට අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ගුවන් සම්බන්ධතාව ඉහළ නැංවීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් බව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
විශේෂයෙන්ම ජල විදුලිය ඇතුළු සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, විදුලිබලය හා බලශක්තිය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සඳහා දෙරටේම වෙළෙඳ මණ්ඩල සහ ව්‍යාපාරික ව්‍යවසායකයින් ඉහළ මට්ටමේ හුවමාරු සඳහා යොමු කිරීමේ වැදගත්කම ද, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේ ය.
ද්විපාර්ශ්වික අවශ්‍යතා සහ දේශපාලනික, ආර්ථික, අධ්‍යාපනික සහ සංස්කෘතික අංශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන වැඩසටහන් සමාලෝචනය කිරීම සඳහා ව්‍යුහාත්මක වේදිකාවක් සපයන ශ්‍රී ලංකා සහ නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිවාරය 2022 මැයි 30 - 31 යන දිනවල කොළඹ දී පැවැත්වීමට විදේශ අමාත්‍යවරු දෙපළ සිය එකඟත්වය පළ කළහ.
බුදු දහම හරහා දෙරට අතර සුහදශීලී බව වර්ධනය වන බැවින්, ලුම්බිනිය වන්දනා ස්ථානයක් සහ බොදුණු උරුමයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහය ලබා දෙන බවද, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේ ය.