මෙහිදී පැමිණ සිටි පිරිස විසින් චාරිත්‍රානුකූලව මහා පාත්‍රය සහලින් පුරවනු ලැබී ය. පෙර වසරවල දී මෙන් පළාත් නවයෙන් ම රැගෙන ආ අලුත් සහල් මේ සඳහා භාවිත කෙරිණි.
අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අති ගෞරවාර්හ ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ විසින් මහා පාත්‍රයට පළමුව සහල් එක්කළේ ය.ඉන් අනතුරුව මේ අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් විසින් සහල් පිරවීම ආරම්භ කරන ලදි.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ , ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල් . අබේරත්න, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති ජනක ජයසුන්දර , අනුරාධපුර ගොවිජන සේවා නියොජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
පැවිදි අනුශාසනාව පැවැත් වූ ලංකාරාමාධිකාරී අධිකරණ සංඝනායක පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ , සියලුදෙනා අවංකව රාජකාරී
කරමින් රට වෙනුවෙන් වෙහෙසෙන්නේ නම් , මේ රට ස්වයංපෝෂිත කිරීම ඉතා පහසුවෙන් කළහැකි බවයි. එමෙන්ම විවිධ විවේචන සිදුකිරීම් නතර කර ඒ වෙනුවට දියුණුව වෙනුවෙන් වන නිසි ජනතා දැනුවත් කිරිමක නිරත වීම අත්‍යවශ්‍ය බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.
පෙර වසරවල දී මෙන්ම සබරගමු පළාතෙන් ගෙන එන ගිතෙල් පූජා කිරිම හා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ට රිදී කාසි පූජා කිරීම ද සිදු කෙරිණි.
DMU/Anuradhapura