පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රශ්න විසඳීමට රජය ඒකායන ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ගමන් කරමින් සිටිනවා - සභානායක

    අප්‍රේල් 07, 2022

    රටේ ප්‍රශ්න විසඳීමට රජය ඒකායන ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ කටයුතු කරමින් සිටින බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුවේ හඬ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග කථානායකතුමා සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියේය.

    අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ තීරණය අනුව මේ වනවිට හදිසි නීතිය ඉවත් කර ඇති බවත්, සදාකාලික හදිසි නීතියක් සහ ඇඳිරි නීතියක් නොපවතින බවත් සභානායකවරයා පැවසිය. ඔහු මේ බව සඳහන් කළේ,

    විපක්ෂ නායකවරයා 06 දින පාර්ලිමේන්තුවේදී නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    ආණ්ඩුව මහජනයාගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පැවසූ ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේ වගකීමෙන් හැසිරෙන ලෙසය.

     සභානායකවරයා මෙසේ ද සඳහන් කළේය.

    “ ගරු කථානායකතුමනි, විපක්ෂනායකතුමා ප්‍රධාන කරුණු කිහිපයක් නගලා තියෙනවා ඒ වගේම කථානායකතුමා ඊයේ පවත්වපු පක්ෂ නායක රැස්වීම ගැන ප්‍රකාශයක් කළා. අපි අගය කරනවා පක්ෂ නායක රැස්වීම ඔබතුමා ඊයේම කැඳවීම ගැන. එහිදී සාකච්ඡා කරන්න පුළුවන් වුණා රටේ තියෙන තත්ත්වය ගැන. ඒ වගේම විවිධ මත තිබෙන්නට ඇති. යළිත් අද දිනයේ රැස්වන බව ගරු කාථානායකතුමා ප්‍රකාශ කළා. අපි ඊයෙත් සඳහන් කළා රටේ ආර්ථික තත්ත්වය තුළ ජීවන තත්ත්වය තුළ එදිනෙදා මහජන ජීවිතය තුළ නොසන්සුන්තාවය ඇති වී තිබෙනවා. අඩුපාඩුකම් නිසා ඇති වි තිබෙන බව අපි රජය හැටියට පිළිගත්තා. ඒ අනුව ගත්ත පියවරවල් ඊයේ දිනයේත් පැහැදිලි කළා. ඒ අනුව කටයුතු කරන ආකාරය බොහෝම විවෘතව විරුද්ධ පක්ෂයට පමණක් නොවෙයි දේශපාලන පක්ෂ සියල්ලටම පාර්ලිමේන්තුවේ ආරාධනය කර තියෙනවා, අතිගරු ජනාධිපතිතුමා.

    ඊට අතිරේකව මම සඳහන් කරන්න කැමතියි, හදිසි නීතීයක් නිකම් ප්‍රකාශ කළේ නැහැ. මම පුදුම වෙනවා, කණගාටු වෙනවා. මේ රටේ අනාගතය වගකීම් භාර ගන්න සිටින විරුද්ධ පක්ෂයේ නායකතුමා ඇතුළු ප්‍රකාශ කරනවනම්, දන්නේ නැතිනම් අතිගරු ජනාධිපතිතුමාගේ නිවස වටලලා එතුමාට ප්‍රහාරයන් එල්ල කිරිමට ප්‍රචණ්ඩත්වයෙන් හැසිරිම කවුරුත් දුටුවා, කවුරුත් දන්නවා, සත්‍ය කාගේත් ඇස් දෙකට පෙණුනා. ඒ අනුව පොලිස් ඇඳිරි නිතීය ප්‍රකාශ පත් කරන්න වුණා ඒ වෙලාවේ හදිසියේම. ඒ වගේම ඒ ආරක්ෂාව මහජන ජීවිත රාශියක්, මහජන දේපොළ ගිනිතියලා දැම්මා. විවිධ පිරිසක් අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. ඉතිං මේවා මත රටේ හදිසි තත්ත්වයක් උද්ගත වුණා. ඒ අනුව ගන්න පියවරවල් ඕනෑම ආණ්ඩුවක් විසින් ගන්නවා. ඒ වගේම මහජන ජීවීත තවදුරටත් ආරක්ෂා කිරීමට ඒ හදිසි පියවරවල්, පොලිසි හදිසි නීතීය ප්‍රකාශ කළා. ඒ වගේම ඉන් පස්සේ ඒ පසුබිමේ තත්ත්වය මත, හදිසි නීතීය ප්‍රකාශ කළා. ඊට පස්සේ ගරු කථානායකතුමනි, හංගන්න දෙයක් නැහැ. ඔබතුමා කියෙව්වා හදිසි නීතී නිවේදනය සභාවට, අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරපු.

    අපි දේශපාලන පක්ෂ අතර මතභේදයක් නොවෙයි, අපි ඇඳිරිනීතිය ප්‍රකාශ කරන්න සිද්ද වුණා. මොකද රට පුරා විවිධ ආකාරයේ උද්ඝෝෂණයන්, තර්ජනයන්, විවිද කඩාකප්පල්කාරී ක්‍රියාවන් ඇති වුණා. අපි කිසිවෙකු කිසිවිට කියන්නේ නැහැ අපිටත් ඔබ වාගේම, විපක්ෂයේ කියන විදියට හොඳට දන්නවා පෝලිම් තිබුණා හැමතැනම. භූමිතෙල් පෝලිම්, ඩීසල් පෝලිම්, ගෑස් පෝලිම ඒ වගේම විදුලිය කඩා වැටීමේ ප්‍රශ්නයක් තිබුණා. මාස කිහිපයක්ම අපි ගැටළුවකට මතු වෙමින් සටන් කරමින් සිටියා විදුලි තත්ත්වය නිවැරදි කරන්න. ආර්ථීක මූල්‍ය අර්බුදයන් තුළ එම තත්ත්වය අඩු කරගන්න පුළුවන් තත්ත්වයක සිටිනවා කාගේත් යහපත සඳහා.

    ඒ නිසා හදිසි නීතීය මේ යම් යම් ප්‍රධාන වශයෙන් වූ ක්‍රියාමාර්ග සඳහා ප්‍රකාශයට පත් කරන්න සිදු වුණා. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක මණ්ඩලය හවස රැස්වී, රාත්‍රිය වනකොට හදිසි නීතී නියෝගය ඉල්ලා අස්කරගෙන තියෙනවා. එය අද නිවේදනය කරලා, ප්‍රසිද්ධියට පත් කරලා, ගැසට් නිවේදනය පිට කරලා තියෙනවා. ඇයි, ආරක්ෂක මණ්ඩලය විශ්වාස කරනවා විවිධ උද්ඝෝෂණ තිබුනත්, මේ වෙලාවට අත්‍යවශ්‍ය වන්නේ නැති නිසා ඒ තීරණය අරන් තියෙනවා. ඇයි ඒක අගය කරන්නේ නැත්තේ?.එතකොට ගරු කථානායතුමනි, ඒ තත්ත්වය තුළ අපි බලාපොරොත්තු වෙනවා එදිනෙදා තත්ත්වය, ගැටළු තිබෙන බව ඔබතුමා කිව්වා. ගැටළු සාකච්ඡා කරන්න පක්ෂ නායකයන් සියළු දෙනා එකඟතාවය ප්‍රකාශ කළා, රජයත් ඇතුළත්ව. ඉතිං ඒ සාකච්ඡාව මඟින් මේ තත්ත්වය සමනයකට පත්කර ගැනීමට ඒකායන ප්‍රජාන්ත්‍රවාදී මාර්ගය අපි යෙදී තිබෙනවා. මම ගෞරවයෙන් කියන්න ඕන විරුද්ධ පක්ෂයේ නායකතුමන්ට, ඒ නිසා කළබලකාරි තත්ත්වයන්ට හැම ආණ්ඩුවකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සදාකාලීක ඇඳිරි නීතියක්, හදිසි නීතියක් නැහැ.

    ගරු කථානායකතුමනි, ඔබතුමා හිටියා, මම හිටියා. ඔබතුමයි මමයි එක දිනයේ පාර්ලිමේන්තු ආවේ. අපි ආපු දවසේ ඉඳලා කථානායකතුමනි, එ් පාර්ලිමේන්තුව විසුරුවනකම් හදිසි නීතීය පනවනවා. මතකනේ, එ් පාර්ලිමේන්තුව අවුරුදු 05යි මාස ගණනකට ඇඳිරි නිතීය පනවනවා. මාසයකට වරක් ඇඳිරි නීතී විවාදයක් පවත්වලා අනුමත කරනවා. එසේ තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා හදිසි නීතී ප්‍රකාශය අවලංගු කළා. රට සාමකාමි තත්ත්වයකට ගෙන යාමට.

    ඒ නිසා අපි කවුරුත් එකතුවෙලා, එය ඔබටත් හොඳයි දේශපාලන ප්‍රචාරයට. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ මේක ඉදිරිපත් වෙලා සාකච්ඡා කරලා තවත් ගත යුතු පියවරවල් තියෙනවනම් ඒවා ගැනීමට රජය ආරාධනය කර තිබෙනවා. ඊට අතිරේකව කථානායකතුමා ඒ සාකච්ඡාව ආරම්භ කරල තියෙනවා සභාවෙන් නැගුණු හඬ මත. අපි මුදල් ඇතිතුමා පත් වුණා. මුදල් ඇමතිතුමා ඉල්ලා අස්වෙලා තියෙනවා. මීළඟ මුදල් ඇමතිතුමා පත් කරන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින්. ඒක මීට ඉස්සෙල්ලා සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මුදල් ලේකම්තුමා වෙනුවට අලුත් ලේකම් කෙනෙක් පත් කරනු ලබයි. ඒ අවශ්‍යතාවයන් රජයක් හැටියට සිදු කිරීමට අපි පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කරගෙන යාමට අවශ්‍ය අමාත්‍යවරු පත්කර තිබෙන බව ඊයේ දිනයේත් මම සඳහන් කළා. මම මීට වඩා මේ කාරණය ගැන කරුණු කියන්න යන්නේ නැහැ. බොහෝම මිත්‍රත්වයෙන් සාකච්ඡා මාර්ගයෙන් අපේ දේශපාලන ප්‍රතිපත්තිවල මතභේද තිබුණත් ගරු කථානායකතුමනි මේ සභාව ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරනවා.”

    එම්.ඒ.සුමන්දරන් මන්ත්‍රීවරයා හදිසි නීතිය පිළිබඳ නැගු ප්‍රශ්නයකටද සභානායකවරයා පිළිතුරු දුන්නේය. ඔහු කියා සිටියේ පැනවූ හදිසි නීතීය, ආරක්ෂක කවුන්සිලය රැස් වී ඉවත් කර ඇති බවය. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තමන් දන්නා බවත්, විපක්ෂයට ඕනෑ ආකාරයට ආණ්ඩුවේ කටයුතු කරගෙන නොයන බවත් ඔහු සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya