පාර්ලිමේන්තුව අද (07) පෙ.ව 10.00 ට රැස්වූ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට නිවේදනය කර සිටියේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දැක්වීම පිළිබඳව පක්ෂ, විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට ස්තූතිවන්ත වන නමුත් මෙම විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම හා විසදුම් ඉදිරිපත් කිරිම ඉතා විරල වීම කණගාටුවට කාරණයක් බවයි. එබැවින් විවාදය අවසානයේ සියලු දෙනාටම එකඟ විය හැකි සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයට කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරයන්ගෙන් කථානායකවරයා ඉල්ලා සිටියේය.
අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අධිභාර බද්ද පනත් කෙටුම්පත දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම සිදුවිය.
අනතුරුව වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022 ජනවාරි 06 දිනැති අංක 2261/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2022 ජනවාරි 11 දිනැති අංක 2262/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය අනුමත කර ගැනීම සිදුවිය.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කළ අතර එම පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන බව කථානායකවරයා නිවේදනය කළේය.
ඉන්පසු දිවා විවේකයකින් තොරව ප.ව 5.30 දක්වා පැවති වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධ විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් දැක්වූ අතර අනතුරුව පාර්ලිමේන්තුව හෙට පෙ.ව 10.00 දක්වා කල් තැබීම සිදුවිය.