මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ (08 දා) වැඩ භාර ගැනීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මාධ්‍ය හමුව ලෙස පැවති ''මාසික මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට'' එක්වෙමින් මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් තමන් රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී කිසිදු දේශපාලන අධිකාරියට හෝ දේශපාලන උවමනාවකට නතුව කටයුතු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුව වගකියන්න මෙරට මහජනතාවට බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
එමෙන්ම රටේ අභිවෘද්ධිය සඳහා තමන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් සිය කටයුතුවල දී දේශපාලන මැදිහත්වීම් ඇති කර ගැනීමට කිසිදු ඉඩක් නොතබා ස්වාධීනව කටයුතු කරන බවත් ඔහු පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා හැකි උපරිම වේගයෙන් කටයුතු කරන බවත් ඒ සඳහා වහාම යෝජනා කැදවීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත්ය.
එමෙන්ම එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වහාම කමිටුවක් පත් කිරීමට තමන් අදහස් කර සිටින බවත්, තමන් එම කටයුත්ත සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමෙන් පසුව මේ අවදානම භාර ගෙන මෙරටට පැමිණි බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.
රටක ආර්ථිකයක් එසැනින් හැරවීමක් සිදු කිරීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි බවත් මෙරට ආර්ථිකය ඇත්තේ ප්‍රපාතයකට යමින් බවත්, මුලින්ම කළ යුතු වන්නේ එසේ ආර්ථිකය ප්‍රපාතයට තව තවත් ඇදීයාමට ඇති අවස්ථාව වැළැක්වීම තුළින් බවත්, මහ බැංකුවේ නව අධිපතිවරයා පැවසීය.
ජනතාවට තවත් කාලයක් ඉවසීමෙන් ඉන්නට සිදුවනු ඇති බවත්, මෙම ආර්ථික පසුබෑම නැවතත් යථා තත්වයට ගෙන ආ හැකි බවත්,ආචාර්ය වීරසිංහ පැවසීය.