ජූනි 08, 2025
tami eng youtube  twitter facebook

    කතානායකවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය..!

    අප්‍රේල් 14, 2022

    ශ්‍රී ලාංකිකයින් වන සිංහල, දෙමළ අප කාටත් මේ උදාවූයේ වසරේ මහෝත්කර්ෂවත්ම මංගල්‍යයය ලෙස සැලකෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්දයි.

    දෙදහස් පන්සිය වසරක දීර්ඝ, ලාංකික ඉතිහාසය ඇතුළත අපි මෙම මහා සංස්කෘතික මංගල්‍යයය අප‍‍‍ගේ ජාතික උරුමයක් සේ සලකා අනාගත පරපුරට දැනෙන පරිදි ඉහළින්ම සැමරුවෙමු. අතීතයේ පවා අප මුහුණ දුන් අතිශය අසීරු, දුෂ්කර කාලපරිච්ඡේදයන්හිදී ද මෙවැනි උත්සව සැමරීම කිසිවිටෙක අපට අමතක වූයේ නැත. ඒ් , අපේ අනාගත දරු පරපුරට ස්වීය සංස්කෘතික වටිනාකම් හඳුන්වාදීමට මෙවැනි අවස්ථා තරම් යෝග්‍ය අන් කිසිදු අවස්ථාවක් නොමැති බැවිනි.

    මේ වන විට අප පමණක් නොව මුළු මහත් සියලු ලෝවැසියන් සිටින්නේ, ආර්ථික සහ සමාජයීය වශයෙන් අසීරු අභියෝගයකට මුහුණ දෙමිනි. එසේ වුවද නූතන පරපුරට ඉපැරණි , දේශජ සංස්කෘතික මූලයන් අනාගත පරපුරට දායාද කරලීමට එළඹෙන මෙවන් සුවිශේෂී අවස්ථා අප කිසිසේත් මඟ හැරිය යුතු නැති බව මගේ හැඟීමයි. එනමුත්, නොවැළැක්විය හැකි විවිධ හේතු නිසා අපට පසුගිය වසර කිහිපයකදීම අලුත් අවුරුද්ද සිත්සේ සැමරීමට නොහැකි විය.

    සෑම සිංහල - දෙමළ අලුත් අවුරුද්දකදීම මවකගේ අපේක්ෂාව වන්නේ, සිය දරු දැරියන් සියලු දෙනාගේ කුස මෙන්ම සිතද එකසේ ප්‍රීතියෙන් පුරවාලීමයි. අපේ දෙමාපිය -වැඩිහිටියන් මේ අලුත් අවුරුද්දේ නැකතට අනුව, මහගෙදර‌ට එක්වන ස්වකීය පවුලේ සියලු දෙනාහට ආදර ගෞරවයෙන් සලකනු මෙන්ම ඒ ස්නේහ සිත්පෙරදැරිව අසීරුවෙන් දිවිගෙවන වටපිටාවේ අසල්වැසියන්, සිය දුර ඈත ඥාතීන් වෙත හෘදයාංගමව තමන් හා එක්ව සිරිත් විරිත් කරන්නට ඇරයුම් කරනු ඇතැයි මම අවංකව බලාපොරොත්තු වෙමි. ඔබ සියලු දෙනාට එක්ව, අනාගතයට සෙවණ දෙන ව‌ටිනා පැළයක් රෝපණය කළ හැකිය. වැඩි වියදම් නොකර දරුවෙකුට පොතක්, පතක් තෑගි දිය හැකිය. ඒ කිසිත් නැතත් අනාගතයට දරුවන් වෙත දෙන නොමඳ දන නම් අවවාද හා ආදර්ශ බව අප අමතක කළ යුතු නැත. අපට අනවශ්‍ය විදුලි පහනක් නිවා වුවද දරුවන්ට ඒ යහමග පෙන්විය හැකිය යන්න වැඩිහිටියකු ලෙස මගේ සිතිවිල්ලයි.
    කෙසේ වුවද, අප ඉදිරියේ ඇති මේ සියලු අභියෝග අපට ජයගනු හැක්කේ , එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්ව කටයුතු කිරීමෙන් පමණි. සිංහල ජාතිකයන් මෙන්ම දෙමළ ජාතිකයන්ද සිය ආගම සහ දර්ශනය දිවි දෙවැනි කර අදහන පිරිසකි. සිංහල අප සියලු වැඩ අත්හැර, ඉෂ්ට දේවතාවුන් අනුස්මරණය කර, පුණ්‍ය කාලයට පන්සල් ගොස් තෙරුවන් ආශිර්වාද ලබද්දී අපගේ සහෝදර දෙමළ ජාතිකයන් කෝවිල් ගොස් දෙවියන් වෙත විශේෂ පූජාවක් පවත්වා උදා වූ අලුත් වසරට සාමය, සෞභාග්‍යය ප්‍රාර්ථනා කරති. එපමණක් නොව, අපේ නිවෙස්වල මවුවරුන්
    කිරි උතුරා, නිවෙසට- රටට- ගමට සෞභාග්‍යය ප්‍රාර්ථනා කරනුයේ එකම මොහොතකදීය. කෙතරම් අසීරු වුවද අනේක දුෂ්කරතා එක්ව මැඬලමින්, ප්‍රවීණ කිවිවර මහගමසේකරයන් වරෙක පැවසූ පරිදි,
    අපේ ස්වාර්ථය මත බිහිවුණු පොළව බෙදූ තාප්ප හා කටු කම්බි ඈ සියලු භේද අතුරුදන් වී ගොස්, මුළු ලෝකය එක් යායක් වන ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් අපේ ශ්‍රී ලාංකිකයන් වෙත උදා වේවා!!

    මහින්ද යාපා අබේවර්ධන,
    කථානායක.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya