පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය දායකත්වය සහ උපරිම සහයෝගය අවශ්‍යයි- කතානායක

    අප්‍රේල් 19, 2022

    පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට මහ ජනතාව අපේක්ෂා කරන විනිවිදභාවයෙන් යුතු,දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලන තන්ත්‍රයක් ඇති කිරීමේ අවංක අරමුණ පෙරදැරිව පාර්ලිමේන්තුවේ සෘජු මැදිහත්වීමෙන් ඉදිරි කටයුතු කඩිනම් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් ඇතුළු සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය දායකත්වය සහ උපරිම සහයෝගය ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුවෙන් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසදුම් සෙවීම සම්බන්ධයෙන් ගන්නා සාධනීය ඉදිරි පියවර පිළිබඳව සභාව දැනුවත් කරමින් කතානායකවරයා අද (19) පාර්ලිමේන්තුව හමුවේ මේ බව නිවේදනය කළේ ය.

    කතානායකවරයාගේ ප්‍රකාශය මෙසේය.

    නිවේදනය

    ''අප රට තුළ දැනට පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළින් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසදුම් සෙවීම සදහා 2022 අප්‍රේල් 05, 06 සහ 07 දිනයන් හි දී පැවති පාර්ලිමේන්තු විවාද වලදී විවිධ උත්සහයන් ගනු ලැබූවද, ඒ සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් කරා එළැඹීමට නොහැකි වූ බව කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

    කෙසේ වුවද, මේ පිළිබඳව යම් සාධනීය ඉදිරි පියවරක් ගැනීමේ අවශ්‍යතාවය පෙරදැරි කරගෙන නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් 2022 අප්‍රේල් 05 සහ 08 යන දිනවලදී මාගේ ප්‍රධානත්වයෙන් වැඩි දුරටත් සාකච්ඡා කරන ලද බව සඳහන් කරමි.

    ඒ අනුව, එකී පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් ඊයේ එනම් 2022 අප්‍රේල් 18 වැනි දින නැවත වරක් පාර්ලිමේන්තුවේදී රැස් වී අර්බුදකාරී තත්ත්වය පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මා විසින් කටයුතු කරන ලදී.

    එහිදී දැනට සාමාන්‍ය ජනතාව අතර පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වයට දීර්ඝකාලීන විසඳුමක් වශයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත්, කෙටි කාලීන මෙන්ම වහාම එළඹිය යුතු විසඳුමක් ලෙස පසුගිය කාලය පුරාවට පසුබෑමට ලක්වූ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීමේ කාලීන අවශ්‍යතාවය පදනම් කරගෙන විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසින් යථාපරිදි සම්මත කරගනු ලැබීමට පියවර ගතයුතු බවට පක්ෂ නායකයන් ගණනාවක් අදහස් පළ කරන ලද බවත් මෙහිදී සඳහන් කරමි.

    මෙම අර්බුදකාරී තත්ත්වය තුළ මහ ජනතාව අපේක්ෂා කරන අභිලාෂයන් ඉටු කළ හැකි ඇතැම් සාධනීය යෝජනා ගණනාවක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට අදාළ නීති සංශෝධනය කිරීම, විගණකාධිපතිවරයාට දේශපාලන පක්ෂ විගණනය කිරීමට හැකිවන පරිදි අදාළ සංශෝධන සිදුකිරීම, රාජ්‍ය කොන්ත්‍රාත් සඳහා ලංසු කැඳවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීම තහනම් කිරීම සහ රජයේ කොන්ත්‍රාත් කටයුතු වලදී විනිවිද භාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම, දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය සේවකයන් විසින් අනීතිකව උපයන ලද විදේශ බැංකු හෝ මූල්‍ය ආයතනයන්හි තැන්පත් කර ඇති බවට හෙළි වන වත්කම් රජයට පවරා ගත හැකි වන පරිදි අදාළ අණ පනත් සංශෝධනය කිරීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට හෝ ජනාධිපති ධුරයට තෝරාපත් කරගනු ලැබීම නුසුදුසු බවට අවශ්‍ය නීති සම්පාදනය කිරීම  යනාදී යෝජනා රැසක් මීට සාකච්ඡා වූ බව මෙම සභාවේ අවධානයට යොමු කරවමි.

    ඒ අනුව රට තුළ දැනට පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමේ යම්කිසි පරිශ්‍රමයක් වශයෙන් මහ ජනතාව අපේක්ෂා කරන යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන විනිවිදභාවයෙන් යුතු, දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලන තන්ත්‍රයක් ඇති කිරීමේ අවංක අරමුණ පෙරදැරි කරගෙන මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සෘජු මැදිහත්වීම මත ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් ඇතුළු සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය දායකත්වය සහ උපරිම සහයෝගය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපගේ මාතෘභූමියේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය කටයුතු මෙතැන් පටන් සිදුකිරීමට වගබලා ගන්නා මෙන් ව්‍යවස්ථාදායකයේ කථානායවරයා වශයෙන් මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.''

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya