පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    වැදගත් පරිවර්තනයකට පාර්ලිමේන්තුව මූලාරම්භයක් ගත්තා - සභානායක

    අප්‍රේල් 20, 2022

    යම්කිසි වැදගත් වෙනසකට පරිවර්තනය වීමට මූලාරම්භයක් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ආරම්භ කර ඇති බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 19 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ඊට පයින් ගසා වෙන වෙන කටයුතු කිරීමට ගියහොත් රට තවත් අරාජික තත්ත්වයකට යොමුවන බවද ඔහු කියා සිටියේය.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනමක් ලෙස ගනිමින් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ඇති කිරීම සදහා, බ්‍රහස්පතින්දා වනවිට කෙටුම්පත් ලබාදීමට (2022.04.18) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වය ඇතිවූ බව පැවසූ සභානායකවරයා, එය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව විසින් (2022.04.19) රටට ම ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.


    ආණ්ඩුක්‍රම වෙනස්කම්, පාර්ලිමේන්තුව තුළින් ප්‍රජාතන්ත්‍රවාදිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමාද ජාතිය අමතමින්, (2022.04.18) සඳහන් කළ බවත්, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ඊටත් එහා කරුණු විස්තර සහිතව එය ඉදිරිපත් කළ බවත් ඔහු පැවසිය.


    ජනාධිපතිතුමා හා ආණ්ඩුව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයකට, විපක්ෂය චෝදනා කරන පරිදි තර්ජන එල්ල කර නොමැති බවද සභානායකවරයා කීය. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන්ට ඉඩකඩ ලබාදී ඇති බවද , ඒ හඬට සවන් දී විසඳුම් මාර්ග ඇතිකළ යුතු නිසා එවැනි ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු පැවසීය. අර්බුදයේ බරපතළකම සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් එකම මතයේ සිටින බවත්, අනවශ්‍ය කරුණු මතු කරමින්, යළිත් පාර්ලිමේන්තුව නොසන්සුන් තත්ත්වයකට යොමු කිරිම සුදුසු නොවන බවත් පැවසු ඔහු , විසඳුම සඳහා පාර්ලිමේන්තුව හරහා ආණ්ඩුව ගෙන ඇති පියවරයන්ට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බව රජය හැටියට ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.


    රජය ලෙස මහජනයාගේ විරුද්ධත්වයේ හඬට සවන් දෙන බවත් විශේෂයෙන් තෙල්, ගෑස්, විදුලිය, පොහොර ආදි ප්‍රශ්න ගැන විසඳුමක් ලබා දෙන බව මීට පෙර පාර්ලිමේන්තුවේදීද සඳහන් කළ බවත් සභානායකවරයා කියා සිටියේය. මූල්‍ය අර්බුදය සම්බන්දයෙන් මුදල් අමාත්‍යවරයා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.

     

    සභානායකවරයා මෙසේද කීය .

     

    “ ගරු කථානායකතුමනි, විපක්ෂනායකතුමා මේ දැන් ඇවිල්ලා කිව්වා උද්ඝෝෂකයන්ට විවිධ කණ්ඩායම් තර්ජනය කරනවා ආදිය. පොලිසිය රාජකාරි කරනවා විනා, පොලිසිය වෙන රාජකාරියක් කරලා නැහැ. මේ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයන්ට ඉඩකඩ දීලා තිබෙනවා. ඇයි ඒ හඬට සවන්දෙන්න ඕන නිසා. ඒ හඬත් එක්ක එකට කතා කරලා විසඳුම් මාර්ග ඇති කළ යුතු නිසා එහෙම නැතිව බොරුවට රට නොසන්නුසන් තත්ත්වයට ඇති කරන කලබල සඳහා හඬ නගන්නට එපා. ඒ අය ඒ වගේ හඬක් නගලා නැහැ.

     

    ඔබ කාටවත් එතනට යන්න පුළුවන්ද බැරිද මම දන්නේ හැහැ.අපෙත් දන්න අය එතනට යනවා එනවා. ඇයි ? අපේ සහෝදරත්වය සමහර ප්‍රශ්න ගැන තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව හැටියට වගකීමකින් කටයුතු කරන්න පුළුවන් මූලික ආරම්භයක් ඔබතුමා ඊයේ දිනයේ ඇති කළා. ඒකට අතිගරු ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රතිඥාවක් රාජ්‍ය නායකයා හැටියට දුන්නා. එතුමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමා කටයුතු කරනවා.

     

    පාර්ලිමේන්තුවට මැදිහත් වෙන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව කථානායකතුමා කැඳෙව්වා, පක්ෂ නායක රැස්වීමක්. ඒ පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාගේ කෙටුම්පත මේ වෙනකොට අග්‍රාමාත්‍යතුමා ළඟට එව්වා. ඉතිං මම මේ කාරණා එකින් එක කියන්න උත්සහ දරන්නේ නැහැ. සැකෙවින් කියන්න හැදුවේ ඒ කතා බස් කළ කරුණු අනුව අපි ඉදිරියට ගමන් කළොත් පාර්ලිමේන්තුවේ වාතාවරණයට මීට වඩා උදව් වෙයි.

     

    අපි පක්ෂ වශයෙන් ගත්තාම එක එක මත ප්‍රකාශ වුණා. අපේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ඉන්න කණ්ඩායමක් අද බිහිවෙලා තියෙනවා. ඒ කණ්ඩායම ස.ජ.බ මතයම දරන්නේ නැති බව ප්‍රකාශ වුණා. මම දන්නේ නැහැ දරනවද නැතිද කියන එක. මම ඒ නිසා මේ සියලු දෙනාගේ අදහස් ඒකරාශි කරගනිමින් මේ තියෙන මහජන විරෝධතාවයේ හඬට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රික එමෙන්ම ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විසඳුමක් ඇති කිරීම සඳහාත්, දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භකරලා තියෙන සාකච්ඡාවල්, අගමැතිතුමා කිව්වා අපේ මිත්‍ර රටවල් සමඟ ඒ වගේම ලෝක බැංකුව ඇතුළු අනෙකුත් මුල්‍ය ආයතන සමඟ ආරම්භ කර තිබෙන සාකච්ඡාවලටත්, මං හිතන්නේ නැහැ විපක්ෂය විරුද්ධයි කියලා.

     

    අපි ඒ තත්ත්වය කඩාකප්පල් වීමට තුඩු දෙන ක්‍රියාදාමයන්ට පාර්ලිමේන්තුව දැඩි අවධානයක් යොමුකර කඩාකප්පල් වීමේ ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙස මම සභානායකතුමා හැටියට ඉල්ලා සිටිනවා. අපේ මන්ත්‍රීවරු සියලු දෙනා පාර්ලිමේන්තුවේ සිටිනවා. පාර්ලිමේන්තුවේ අපත් සමඟ එකතුවෙන යම් යම් මන්ත්‍රීවරු හෙළා දකිමින් යම් යම් ප්‍රකාශ කරනවා. නමුත් අපි පාර්ලිමේන්තු ඉතිහාසයේ දැකලා තියෙනවා මන්ත්‍රීවරු එහාට යනවා මන්ත්‍රීවරු මෙහාට යනවා. ඒ මන්ත්‍රීවරුන්ගේ තීරණ අනුව සිදුවන දේවල්. ඒ නිසා රටට විනාශයක් වෙනවානම් එහෙම එහාට මෙහාට යන්න එපා කියන්න. ඔබතුමාල කිවයුතු දෙයක්. අපි කාටවත් කියලා නැහැ ආණ්ඩුවෙන් යන්න කියලා. ආණ්ඩුව ඇතුළෙත් යම් යම් අදහස් දරන මන්ත්‍රීවරු එක්ක දිගටම සාකච්ඡා කරමින් යම් යම් විසඳුම් වලට අවතීර්ණ වීමට සූදානම් බව අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සඳහා මම කියා සිටියේ අපි බොහෝම වගකීමෙන් රට වැටුණු මේ දරුණු අර්බුදය ඉදිරියේ රට ගොඩනැගීමේ කර්තව්‍යයට පාර්ලිමේන්තුවක් හැටියට ඔබතුමා මැදිහත්වී ආරම්භ කරලා තියෙන ක්‍රියාමාර්ගයට ජනාධිපතිතුමත්, රජයත්, අගමැතිතුමත්, පාර්ලිමේන්තුවත් සහයෝගයෙන් කටයුතු කරන්න අපි අඛණ්ඩව සුදානම් කියන එක ප්‍රකාශ කරනවා, ආරාජික තත්ත්වයක ඇති කරන්නේ නැතිව.”යැයි පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya