ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වත්තමන් ආර්ථික දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ගොස් සිටින ඇමරිකාවේ, වොෂින්ටන් නුවරට සිට Zoom ඔස්සේ ජනතාව අමතා එහි වත්මන් ප්‍රගතිය පිලිබඳ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එමෙන්ම, ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා තවමත් මුල් අදියරේ පසු වන බව පැවසූ ඒ මහතා එහි දී මුදල් ලබා ගැනීම සඳහා යම් එකඟතාවයකට පැමිණියත් මුදල් ලබා දීම සඳහා යම් කාලයක් ගත වන බවත් ප්‍රකාශ කළේය. එම ගත වන කාලය අතර තුර දී රටවැසියා වෙනුවෙන් කළ හැකි දේ කුමක් ද යන්න ප්‍රධාන ගැටලුව වන අතර ඊට කෙටිකාලින විසඳුම් ලබා දීම වශයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් මිලියන 300 - 600 ක් පමණ මුදල සති තුනේ සිට මාස හයක කාලයක් තුළ දී ලංකාවට නිකුත් කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්, එම මුදල් ඍජුවම මෙරට පිඩිත පන්තියේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙත සහන ලබා දීම සඳහා සෞඛ්‍ය, ගෑස්, මුදල් ආධාර, අහාර සහ පොහොර සඳහා ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසුවේය.
එපමණක් නොව, අපගේ ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ණය ගෙවන්නේ කෙසේ ද යන්න පිළිබඳව යම් එකඟතාවයකට පැමිණෙමින් තිබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුවත් සමඟත් සාකච්ඡා කරමින් සිටින බවත්, ඉන්දියාව සමඟ සිදු කෙරෙන සාකච්ඡා සාර්ථක බවත්, ඉන්දියානු මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ඇ.ඩො.මිලියන 500 ක් දක්වා වූ ඉන්ධන මිල දී ගැනීම සඳහා පහසුකමක් සලසා දීමට එකඟතාවයට අමතරව තවත් ඇ.ඩො.මිලියන 500 ක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව විසින් අනිත් රටවල් වලට බැංකු වලින් මාස දෙකකට වතාවක් ගෙවිය යුතු මුදල ගෙවීමට අවශ්‍ය කාලය ඉල්ලා තිබෙන බවත් මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිළි කළේය.
ඒ අනුව, නමුත් IMF හරහා වැඩ කිරීමේ යම් කිසි වැඩපිළිවෙලක් තිබෙන හෙයින් මුදල් ලබා ගැනීමට තරමක කාලයක් ගත වනු ඇතැයි හෙතෙම කියා සිටි අතර කෙටි කාලීන විසඳුම් මෙන්ම දිගු කාලීන විසඳුම් කෙරහි ද අවධානය යොමු කරමින් මාස 12 ක ඉදිරි කාලය තුළ ලංකා මහා බැංකුව වෙත ඩොලර් වලින් ආයෝජනයන් පැමිණීම සම්බන්ධව සහ හැකි ඉක්මනින් එම මුදල් ලබා ගැනීම සඳහා රටවල් කහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින අතර එම කටයුතු සාර්ථක වීමෙන් මහබැංකුවට ඩොලර් බිලියනයක හෝ දෙකක ආයෝජනයක් පැමිණිය හොත් රුපියල නැවත ස්ථායි කර ගැනීමට හැකි වනු ඇතැයි තමන් විස්වාස කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
එමෙන්ම, එක් දවසක් හෝ කාලය ආපස්සට ඇද දැමීමෙන් රට තවත් අගාධයකට යනු විනා වෙන හොදක් නැති බව අවධාරණය කළ ඒ මහතා ඇ.ඩො. බිලියන 51 ක විදේශ ණය ගෙවිය යුතු වන මේ මොහොතේ එම මුදල ගෙවීමට මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවට නොහැකි වී ඇති බවත්, ලංකා ඉතිහාසයේ බරපතලම මුල්‍ය අර්බුදය තුළ ශ්‍රී ලංකාව වර්තමානයේ පසු වන බවත්, ජනතාව ඇත්ත දැනගත යුතු බවත් අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තයට වූ බලපෑම, කොවිඩ් 19 බලපෑම මෙන්ම යුක්‍රේනයේ මේ වන විට පවතින යුධ ගැටුම් නිසා ඉන්ධන මිල ඉහල යාම වැනි සාධක නිසා මෙරට ආර්ථිකයට ඍජු බලපෑම් එල්ල වී ඇති බව හෙතෙම කියා සිටින ලදුව එක් පුද්ගලයෙකුට පමණක් ඇඟිල්ල දිගු කිරීමෙන් පමණක් ලඝු කොට තැකිය නොහැකි බවත්, මේ පැන නැඟී ඇත්තේ වසර 70 ක් තුළ රට තිරසාර නොවී ඒ ඒ වෙලාවල් වල ජනප්‍රිය මාතෘකා ඔස්සේ යමින් කිසිඳු අවබෝධයකින් තොරව දේශපාලන අරමුණින් ලබා ගත් ශුභ සාධන ප්‍රතිඵල වල අවසාන ප්‍රතිඵලයක් බවත්, මේ වෙලාවේ සියලු දෙනා එක්ව උද්ගත වී ඇති අර්බුදයෙන් රට ගොඩගැනීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසුවේය.
ඒ කෙසේ වුව ද, මේ දක්වා IMF සමඟ සිදු කරන සාකච්ඡා සාර්ථක වී ඇති බවත්, බලාපොරොත්තුව හැකි ඉක්මණින් ඔවුන් සමඟ එකඟතාවයකට පැමිණීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටි අතර, ඊට වැදගත්ම දේ වන්නේ ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණිය යුතු බවයි.
මේ වන විටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඇ.ඩො. බිලියනක මුදලක් ඉල්ලීමක් කර තිබෙන අතර කෙටි කාලීන ණය පහසුකම් ලබා දීමට නිල වශයෙන් එකඟතාවය පළ කර තිබේ.
එමෙන්ම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලෝකයේ සිටින හොඳම උපදේශකවරුන් සමඟ සාකච්ඡා කරන බව කියා සිටි අමාත්‍ය අලි සබ්රි මහතා දේශපාලනය කරන්නත්, සටන් කිරීමටත්, රටක් අවශ්‍ය බවත්, වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් රට අපකීර්තියට පත් නොකරන ලෙසත් සියල්ලෝම එක්ව රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.