ජූනි 19, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ නොකර විවෘතව එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම අරමුණයි

    අප්‍රේල් 29, 2022

    ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වාගෙන යමින් ක්‍රීඩාව තුළට දේශපාලනය සම්බන්ධ නොකර ඔබ සියලුදෙනාගේ අදහස් හා යෝජනා අනුව විවෘතව එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම තම අරමුණ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පවසයි.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතා හා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සමාජිකයින් සමග තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පසුගියදා පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ක්‍රීඩා අමාත්‍යවරයාගේ ධූර කාලය අවසන්වීමත් සමග ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සදහා පත් කරන ජාතික ක්‍රීඩා සභාවේ නිළ කාලයත් අවසන් වේ. අභිනවයෙන් පත්වූ නව ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතා මාස 18 ක් පුරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයින් සමග ඔවුන්ගේ පෙර සැළසුම් හා ඉදිරි සැළසුම් පිළිබද සාකච්ඡාවක නිරත විය.

    එහිදී අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කර සිටියේ පසුගිය කාල සීමාව තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගුණාත්මක පිබිදීමක් ඇති වූ බවත්, ඒ සදහා කැපවී සේවය කළ සියලුදෙනාට ස්තුතිය පිරිනමන බවත්ය. ඒ සදහා ජාතික ක්‍රීඩා සභාව ලබාදුන් සහයෝගය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල සම්බන්ධව කටයුතු විධිමත්ව සැළසුම් කිරීමට ජාතික ක්‍රීඩා සභාව කඩිනමින් පත් කරගත යුතුව ඇති බව මෙහිදී සාකච්ඡා විය. රට තුළ පවතින වත්මන් අර්බුදය හමුවේ මෙම තරගාවලි දෙක සදහා රටට පදක්කම් ගෙන ඒමේ ඉලක්ක සහිත වඩා ඵලදායී වැඩසටහක් දියත් කිරීම වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා සභාව හා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව සාකච්ඡා කිරීමට නියමිත බවත් එහිදී සඳහන් විය.

    ඉදිරියටත් ජාතික ක්‍රීඩා සභාව තුළ ක්‍රියාකාරීව සිට ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කැපවී තම දායකත්වය ලබා දිය හැකි සාමාජිකයින් හට අභිනවයෙන් පත් කිරීමට නියමිත ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත්, ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව දක්ෂයින් හා ඉදිරි ගමනක් යාම තම බලපොරොත්තුව බවද පැවසීය.

    අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

    අද අපි ජාතික ක්‍රීඩා සභාවට ආරාධනා කළේ මේ සභාවේ හිටපු සාමාජිකයින්ව ඉවත් කිරීමට හෝ අලුත් සාමාජිකයින් පත් කිරීමේ අරමුණ ඇතිව නොවේ. මම අමාත්‍යධූරය භාරගෙන පළමුව අදහස් කළේ ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයින් 15 දෙනා සමගම එක්වී සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සමග ඉදිරියට යාමට කටයුතු කරමු යන කාරණයයි.

    අද මෙම අවස්ථාවට සාමාජිකයින් 06 දෙනෙක් සහභාගී වෙලා සිටිනවා. එයින් සාමාජිකයින් 03 දෙනෙක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වෙලා සිටිනවා. මොවුන් ඇතුලු සියලුදෙනාම පසුගිය මාස 18 ක කාලය තුළ අප රටේ ක්‍රීඩාව දියුණු කිරීමට විශාල වැඩ කොටසක් සිදු කරමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දුන්නා.

    මෙම සාකච්ඡාව සදහා සහභාගී වූ නොවූ සියලුදෙනාට අවස්ථාව තිබෙනවා ඉදිරි දින කීපය තුළ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. අපි හැමෝටම විවිධ මත තිබිය හැකියි. නමුත් අප සියලුදෙනා එක්ව රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා ජාතික ක්‍රීඩා සභාව කඩිනමින් පත් කරගත යුතුව තිබෙනවා.

    වැදගත් කරුණු කාරණා කිහිපයක් පිළිබදව අමාත්‍යාංශ ලේකම්තුමා මෙහිදී සාකච්ඡාවට ගත්තා. ඒ සම්බන්ධව එතුමා පැහැදිලි කළා‍‍. ඉදිරියේදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ සියලුදෙනා ඉදිරිපත් කරන ගුණාත්මක අදහස් හා යෝජනා මම පිළිගන්න සූදානම්. එමෙන්ම වෙනස් විය යුතු තව කරුණු ඇත්නම් ඒ සම්බන්ධව ද සාකච්ඡා කර හොඳ කණ්ඩායමක් ලෙස ඉදිරියට යමු කියන යෝජනාව මම කරනවා.


    ඒ අනුව ඉදිරියේදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වාගෙන යමින් ක්‍රීඩාව තුළට දේශපාලනය සම්බන්ධ නොකර ඔබ සියලුදෙනාගේ අදහස් හා යෝජනා අනුව විවෘතව එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම මගේ අරමුණයි.

    මෙතෙක් ඒ සදහා ඔබ සියලුදෙනා ලොකු කැපකිරීමක් කරමින් විශාල ශක්තියක් ලබා දුන්නා. අප සමග එක් වී ඉදිරි කාලසීමාව තුළත් ක්‍රීඩාව ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සදහා එක් වන ලෙස අද මෙම සාකච්ඡාව සදහා සහභාගීවීමට අපහසු වූ සාමාජිකයින් හටත් මම ආරාධනා කරනවා‍. මම ඔබ සැමට අද සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කළේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමටයි.

    මෙරට ක්‍රීඩාව දියුණුකිරීම වෙනුවෙන් අවශ්‍ය ජාතික ක්‍රීඩා සභාව පිහිටුවා ගැනීමට ඔබේ සහාය බලාපොරොත්තු වෙනවා. මගේ අභිමතය පරිදි මම ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීමට බලාපොරොත්තු වන්නේ නැහැ. අපි සියලුදෙනාම සාකච්ඡා කර ජාතික ක්‍රීඩා සභාවට අවශ්‍ය සාමාජිකයින් පත් කර ගනිමු මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකොන් මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් ද, ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයින් වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, යෂ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා, රොහාන් ප්‍රනාන්දු මහතා සාකච්ඡාව සදහා සහභාගී වූ අතර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේජර් ජෙනරල් රාජිත අම්පෙමොහොට්ටි මහතා, රුවන් කෑරගල මහතා, රොවේනා සමරසිංහ මහත්මිය එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya