බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශයේ වත්මන් සහ ඉදිරි වැඩසටහන යන මැයෙන් අද(02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මාස තුනක් පමණ පැවති ඉන්ධන පෝලිම් ඉතාම පරිශ්‍රමයක් දරා අවසන් කර ගත් බවත් එහෙත් නැවත වතාවක් මෙලෙස ඉන්ධන පෝලිමක් ඇති කිරීම විවිධ දේශපාලන පක්ෂ වල වුවමනාවට සිදු වී ඇත්ද යන්න පිළිබඳ සැකයක් මතු වී ඇති බවයි.
ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන්ද ජනතාව , ඉදිරි දින කිහිපයේදී කලබල විය යුතු නැතැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. තවද කිසිවිටෙකත් බාල ඉන්ධන තොග මෙරටට ලබා නොගන්නා බවද ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්යෙන් සැකයක් ඇති කර නොගන්නා ලෙසද අමාත්‍යවරයා කීය. එලෙස ඉන්ධන සම්බන්ධයෙන් යම් සැකයක් ඇතොත් ඛනිජ තෙල් සංස්ථාවේ 0115234234 / 0115455130 යන ක්ෂණික ඇමතුම් වලට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ඉන්ධන තොග නොමැති වීම සහ ඉන්ධන බෙදා හැරීමේ ටැංකි රථ ඒ සඳහා සහභාගී නොවීම නිසා ඉන්ධනහල් වල පෝලිම් ඇති වී ඇති බවට වැරදි ප්‍රචාරයක් ගොස් ඇති බවත් , එහෙත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ඊයේ දිනයේදී සිදු නොවූයේ මැයි පළමු වන දින, කම්කරු දිනය නිසා නිවාඩු දිනයක් වූ බැවින් බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය. එහෙත් අද දිනයේදී සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදු වන බව අමාත්‍යවරයා කීය.
ඩීසල් , ඔටෝ ඩීසල් ඇතුළු සියළු ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි තිබෙන බවත් විදිලි බල මණ්ඩලය සඳහා අවශ්‍ය ඉන්ධන තොගද හිගයකින් තොරව ලබා දීමට කටයුතු කර ඇතැයිද බලශක්ති අමාත්‍යවරයා පැහැදිළි කළේය. පෙට්‍රල් තොග සීමිත ප්‍රමාණයක් පැවතියද , මේ වන විටත්, පෙට්‍රල් සහ බොරතෙල් නෞකා වරාය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව අමාත්‍යවරයා කීය. එම ඉන්ධන තොග ගොඩ බෑමේ කටයුතු මී ලග වැඩකරන දිනය වන අනිද්දා දිනය වන විට ආරම්භ කරන බවද ගෙවීම් සම්බන්ධයෙන් අදාළ බැංකු සමග සාකච්ඡා කර ඇතැයිද කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ , ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ක්‍රම04ක් යටතේ සිදුකරන බවයි. ඩිපෝ සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කෙරේ. මෙම කටයුතු කිසිදු බාධාවකින් තොරව මේ වන විටත් සිදු කෙරේ.
CPSTL ආයතනය හෙවත් ඛනිජ තෙල් තොග බෙදා හැරීමේ ආයතනය මගින්ද ඉන්ධන බෙදා හැරීම සිදු කෙරේ. මේ වනවිට එම ආයතනය සතුව බවුසර් රථ 127ක් ඇති බවත් අද දිනයේ එයින් බවුසර් 86ක් සේවයට වාර්තා කර තිබේ.ෙපෞද්ගලික අංශයේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රජය මගින් සිදු කරන බෙදා හැරීම් දවසේ පැය 24 පුරාම අඛණ්ඩව හුවමාරු ක්‍රමයක් යටතේ සිදු කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමි බව්සර් රථ වෙනුවෙන් වෙනම තෙල් බෙදා දීමේ පර්යන්ත වෙන් කිරීම සහ ඔවුන්ට වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමුතාවය මත ගමන් වාර ලබා දීමටත් යාබධ හිමි ඉන්ධන හල් වෙතද ඉන්ධන ලබා දීමට ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ බවද කීය. මේ මොහොතේ පෞද්ගලික අංශය සතු දායකත්වය අඩු වීම හේතුවෙන් මේ පිළිබඳව ඉල්ලා ඇතැයි ද කීය. එහෙත් අද පැමිණි ඉන්ධන ටැංකි රථ හිමියන්ට විවිධ බාධා පැමිණ වීම් සිදු කර ඇති බවත් , වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත පිරිස් විසින් විවිධ බාධා පැමිණ වීම් සිදු කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරත පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගෙන්ද ඇතැම් පිරිසක් සේවයට වාර්තා කිරීමට කැමැත්ත පළ කර සිටින බවද එහෙත් විවිධ පිරිස් ඔවුන්ට තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වී ඇතැයිද අමාත්‍යවරයා කීය. ඒ අනුව එම ටැංකි රථ රියදුරන් සඳහා අවශ්‍ය ආරක්ෂාවද සළසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. වෘත්තීය ක්‍රියාමාර්ගය නොසලකා පවතින මිල ගණන් වලට එකග වූ , ඛණිජ තෙල් සංස්ථා පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ රථද 20ක් පමණ මේ වන විට සේවයට වාර්තා කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී මෙම ගාස්තු සංශෝධනය කළහොත් අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහෙත් මෙම ඉල්ලීමට එකගතාවයට පත් පිරිසක්ද සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් පිරිසක්, රජය සහ ජනතාව අපහසුතාවයට පත් කිරීමට මෙලෙස කටයුතු කරන බැවින් රජය ඒ සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළඹුනු බව අමාත්‍යවරයා කීය. ඒ අනුව මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකිවූ නව රථ සඳහා CPSTL ආයතනයේ ප්‍රවාහන මිල ගණන්වලට අනුව බලපත්‍ර ලබා දීමට කටයුතු යොදා ඇත. බලපත්‍ර නිකුත් කරන කාලය අවම කිරීමට පැය 24 පුරා නිළධාරී මණ්ඩලයක් යෙදවීම සහ අවශ්‍ය ක්‍රියාවලිය සිදු කිරීම මගින් සතියක් තුළ නව බලපත්‍ර ලබා දීමට කටයුතු යොදා ඇත. මේ වන විටත් නව බවුසර් රථ 12ක් එසේ ලියාපදිංචිය කිරීම සඳහා පැමිණි බවද අමාත්‍යවරයා කීය.
සේවයට වාර්තා නොකරන රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ සේවයට පැමිණෙන රථවලට අවහිර කරන පුද්ගලයන්ගේ රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු යොදා ඇත.