ඔහු මේ බව කියා සිටියේ,අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
අයි එම් එෆ් ආයතනය තුළද චීනය ඉතාමත් වැදගත් වගකීමක් දරන බැවින් ඔවුන්ද පොදුවේ එකගතාවය දක්වන යෝජනා වලට සම්බන්ධ වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි යැයි ඔවුන් පවසා ඇතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පසුගියදා මෙරට අග්‍රාමාත්‍යතුමා සහ චීන අග්‍රාමාත්‍යතුමා අතර පැවති දුරකතන සංවාදයෙන්ද මේ සදහා අවශ්‍ය කරන හොද අඩිතාලමක් වැටී ඇතැයිද ජනමාධ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය.
අප රටේ ආර්ථිකය කළමනාකරණය කරන ප්‍රධාන කණ්ඩායම ජනාධිපතිතුමා විසින් මෑතකදී අලුතෙන් පත්කිරීමත් සමග යම් ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගත් බව කියා සිටි අමාත්‍ය නාලක ගොඩහේවා මහතා, මේ වෙලාවේ මෙරට පවතින විශාල විදේශ විනිමය අර්බුදයට විසදුමක් ලබාගැනීම සදහා අයි එම් එෆ් ආයතනය සමග සාකච්ඡා ඇරඹූ බවද වැඩිදුරටත් පැවසුවේය.
අයි එම් එෆ් ආයතනය සමග පමණක් නොව අප රටට ආධාර ලබාදෙන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ තවත් මූල්‍ය ආයතන ගණනාවක ඉහළම මට්ටමේ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම ඉමහත් සතුටක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මොනම හේතුවක් නිසාවත් මෙලෙස අරඹා ඇති සාකච්ඡා ඉදිරියට ගෙනයනවා මිස ඒවා වෙනස් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවද, කිසිදු රහස් සාකච්ඡාවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
අප රටට මෙම අවස්ථාවේ විශාල බරක්ව පවතින විදේශ ණය, විශේෂයෙන්ම කෙටි කාලීනව ගෙවිය යුතු වාණිජ ණය එනම් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාවක් ලංකාව විසින් ඉදිරිපත් කර ඇතැයිද, එම කාරණයේදී විශේෂ තාක්ෂණික සහ නීති උපදෙස් ලබාගනිමින් බොහෝ කටයුතු කිරීමට සිදුව ඇතැයිද පැවසූ අමාත්‍යවරයා මෙහිදී ඇතැම්විට චීනය මෙයට එකග නොවෙතැයි යම් මතයක් ප්‍රකාශවී තිබුණ බවද සදහන් කළේය.
ලෝකයේ මෙවැනි ණය ප්‍රතිව්‍යූහගතකිරීම් කරන ඇතැම් අවස්ථා වලදී ලොව බොහෝ රටවල් සදහා එම කාරියට අන් රටවල් මෙන් සම්බන්ධ වීමට චීනය යම් මැලිතාවයක් දක්වා ඇතැයිද, නමුත් චීනය එසේ ක්‍රියා කර නැතැයි කිව නොහැකි අතර රටවල් ගණනාවක් සදහා අයි එම් එෆ් එකත් සමග සම්බන්ධ වී චීනය එම ණය ප්‍රතිව්‍යූහගත කිරීම් සදහා උදවු ලබාදී ඇතැයිද පැවසුවේය. ඊයේ දිනයේද චීන තානාපතිතුමා මෙරට මුදල් අමාත්‍යවරයා හමුවූ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
ආර්ථික කළමනාකරණය කරන කන්ඩායම මේ වන විට චීනය සමගත්, අයි එම් එෆ් සමග මෙන්ම අනෙකුත් සියලුම ආයතන සමගත් කතා කරන බවද ඉන්දියාවෙන් ලැබෙන ණය පහසුකමත්, ඔවුන් දැනටමත් ලබාදී ඇති මුදල් ප්‍රමාණයටද අමතරව තවත් ලබාදෙන බවට ඔවුන් සදහන් කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පැවැත්වෙන බවද සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියා සිටියේය.