මිල සශෝධනයෙන් පසුව වුවද , අදටත් තෙල් සංස්ථාව ලාභ නොලබන බවත් සෑම ඉන්ධන ලීටරයක් සඳහාම සහනාධාරයක් ලබා දෙමින් අදටත් ලෝක වෙළෙඳ පොළ පවතින මිලට වඩා අඩු මුදලට ජනතාවට ඉන්ධන ලබා දෙන බව ද ද අමාත්‍යවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ , පසුගිය කාල සීමාවේ විශාල ලෙස මිල වැඩි කිරීම නිසා මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයකට පත්ව තිබේ ද?නොඑසේ නම්, පාඩු නොවී පවත්වා ගෙන යාමට තවත් කොපමණ ප්‍රමාණයකින් ඉන්ධන මිල ගණන් වැඩි කළ යුතු ද යන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මිල සශෝධනයෙන් පසුවද අදටත් තෙල් සංස්ථාව ලාභ නොලබන බවත් විශේෂයෙන් භූමිතෙල් ලීටරයක් මෙරට ජනතාවට රුපියල් 87කට ලබාදීමට රජය පියවර ගත්ත ද, භූමිතෙල් ලීටරයක් සඳහා රජයට වැය වන මුදල් රුපියල් 313ක් බව පැවසූ අමාත්‍යවරයා, ඩිසල් සහ පෙට්ට්‍රල් සඳහා ද රජය තවමත් ජනතාවට සහනාධාර ලබාදෙමින් සිටින බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ අප්‍රේල් මස 18 වෙනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පෙර ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව රුපියල් මිලියන 1613ක පාඩුවක් ලැබූ බවයි.
අවසන් වරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන විට අමෙරිකානු ඩොලරය රුපියල් 330ක් පැවතිය බවත් එය මේ වන විට රුපියල් 360ක් දක්වා ඉහළ ගොස් ඇති පෙන්වා දුන්නේය. මේ වන විට පවතින මිල ගණන් යටතේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉන්ධන ලබාදීම සිදුකළහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වන බව ද බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දුන්‌නේය.
මිට වසර දෙකකට පෙර මාසිකව ඉන්ධන ආනයනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට වැය කිරීමට සිදුවුයේ ඩොලර් මිලියන 150ක පමණ මුදලකි. එහෙත් ලෝක වෙළෙදපලේ බොරතෙල් මිල ඉහළ යෑම ඇතුළු කරුණු හේතුවෙන් මේ වන විට මැයි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 550ක් පමණ මුදලක් වැය වන බවද කීය.