2022 වර්ෂයේ ලෝක අධි රුධිර පීඩන දිනයේ තේමාව වනුයේ,'' දිගුකල් ජීවත් වන්නට ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කරගන්න '' යන්නයි. අධි රුධිර පීඩනය වැළැක්වීම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණෙන් ලෝක අධි රුධිර පීඩනය පිළිබද එකමුතුව විසින් ලෝක අධි රුධිර පීඩන දිනය සෑම වසරකම මැයි 17 වන දින සමරනු ලබයි.
අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම, අන්ධභාවය සහ රුධිර වාහිනී ආශ්රිත රෝග ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බරපතල රෝගී තත්ත්වයකි. ලොව පුරා නොමේරූ මරණ සදහා වැළැක්විය හැකි අවදානම් සාධකයක් ලෙස අධි රුධිර පීඩනය හැදින්විය හැකිය.
ලොව පුරා බිලියන 1.4 ක ජනතාවකට අධි රුධිර පීඩනය ඇති බව ඇස්තමේන්තු කර ඇත. නමුත් එය පාලනය කර ඇත්තේ 14%ක් පමණි. කෙසේ වෙතත් ලාභදායී ප්‍රතිකාර විකල්ප පවතී. අධි රුධිර පීඩනය හෘද නාල රෝග සදහා ප්‍රධාන අවදානම් සාධකයක් වන අතර එය ශ්‍රී ලංකාවේ සමස්ථ මරණ වලින් තුනෙන් එකක් එනම් 34%ක් පමණ වෙයි. හෘද රෝග අතරින් ආසන්න වශයෙන් 47%ක්ද, ආඝාත අතුරින් 56%ක්ද, අධි රුධිර පීඩනය හේතුවෙන් හටගන්නා බව සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා STEPS (2015) සමීක්ෂණයේ දත්ත අනූව අවුරුදු 18-69 අතර පුද්ගලයින්ගෙන් 26%ක් පමණ පිරිසක් රුධිර පීඩනය 140/90 mmHg ට වඩා වැඩි හෝ අධි රුධිර පීඩනය සදහා ප්‍රතිකාර ගනිමින් සිටින පුද්ගලයින් වේ. (පිරිමින් 25.4% සහ කාන්තාවන් 26.7%) ඔවුන්ගෙන් තමන්ට අධි රුධිර පීඩනය ඇති බව දැන සිටින්නේ 38%ක් පමණක් වන අතර ප්‍රතිකාර ලබමින් සිටින්නේ 28%ක් පමණි. තවද ජනගහණයෙන් තුනෙන් එකක් (31%) කිසි විටෙකත් රුධිර පීඩනය පරීක්ෂා කර නොතිබුණි. ශ්‍රී ලංකාවේ ජන විකාශනය වැඩිහිටි ජනගහනයක් දෙසට යොමු වෙමින් පවතින බැවින්, අධි රුධිර පීඩනයේ ව්‍යාප්තිය සහ එයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍යතා අඛණ්ඩව ඉහළ යනු ඇත.
මෙම වසරේ ලෝක අධි රුධිර පීඩන දිනයේ තේමාව මගින් අවධාරණය කරන්නට යෙදෙන්නේ වැරදි රෝග විනිශ්චය සහ නුසුදුසු ප්‍රතිකාර සදහා හේතු විය හැකි සාවද්‍ය රුධිර පීඩනය මැනීම පිළිබදව ප්‍රජාව තුළ සහ සෞඛ්‍ය සේවකයින් අතර දැනුවත්භාවය ඇති කිරීමයි.
අධික රුධිර පීඩනය තත්ත්වයේ ව්‍යාප්තිය නිවැරදිව පාලනය කිරීම, ප්‍රතිකාර හෝ ඖෂධ මගින් පමණක් සිදුකරගත නොහැක. ඒ සදහා නිවැරදි ජීවන රටාවක් පවත්වාගැනීම වැදගත් වෙයි. අධි රුධිර පීඩනය සදහා ප්‍රධාන අවදානම් සාධක වනුයේ අධි ලුණු පරිභෝජනය, දුම්පානය, මත්පැන් භාවිතය, කායික ක්‍රියාශීලී භාවයේ මද බව, අධික බර / තරබාරු බව, ජානමය නැමුරුතාවය සහ මානසික ආතතිය ආදියයි.
අධි රුධිර පීඩනය වළක්වාගැනීමට නම්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් එනම් අධික ලුණු සහිත ආහාර, සැකසූ ආහාර, කල් තබාගන්නා ද්‍රව්‍ය සහිත ටින් මාලු සහ අච්චාරු වැනි ආහාර ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වෙයි. එමෙන්ම දුම්පානය සහ මත්පැන් පානය නතර කිරීම, ශාරීරික ක්‍රියාකාරකම් වැඩිකිරීම, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම, නිවැරදි ක්‍රියා පටිපාටියක් භාවිතා කරමින් වසරකට දෙවරක්වත් රුධිර පීඩනය පරීක්ෂා කිරීම වැදගත් වෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ප්‍රාථමික සහ ද්විතීයික / තෘතීයික සෞඛ්‍ය සේවා ආයතන වල වෛද්‍ය නිලධාරීන් සදහා නිවැරදි රුධිර පීඩන මිනුම් ලබාගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබද කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මාර්ගෝපදේශයක් සකස් කර ඇත.
2022 ලෝක අධි රුධිර පීඩන දිනය සැමරීම සදහාද සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය, ශ්‍රී ලංකා ආඝාත සංගමය සහ හෘද රෝග විශේෂඥයින්ගේ සංගමය ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර ඇත.
ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කරගැනීම දරුණු රෝගයක හිමිකරුවෙකු නොවීම සදහා මෙන්ම සෞඛ්‍ය සම්පන්න යහපැවැත්මක් සදහා ඉවහල් වනු ඇත.
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.