මෙම සිදු වීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කොට අද (19) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව ඊයේ කතානායකවරයා විසින් සභාව දැනුවත් කෙරිණි.
ඒ අනුව කතානයකවරයා විසින් පහත් සඳහන් නිවේදනය ඉදිරි පත් කළේ ය.
නිවේදනය-
''2022 මැයි 17 දින ගරු විපක්‍ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සභාවේ දී මතු කරන ලද, “මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ භාරයට ගැනීමේ සිදුවීම” සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට කැමැත්තෙමි.
මෙම සිදුවීම පිළිබඳව, මා විසින් වේත්‍රධාරි වෙත දෙන ලද උපදෙස් ප්‍රකාරව, පාර්ලිමේන්තු පොලිසිය මගින් විමර්ෂණයක් සිදු කර වාර්තාවක් මා වෙත ලබාදී ඇත.
2022-05-17 දින පෙරවරුවේ කාරක සභා කාමර අංක 01හි දී පැවැති ආණ්ඩු පක්‍ෂ රැස්වීමෙන් අනතුරුව පෙ.ව. 10.00ට පමණ ආපසු පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන් වීඩියෝගත කිරීමට අදාළ පුද්ගලයන් දෙදෙනා කටයුතු කර ඇත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු බිම් මහලේ කාරක සභා කාමර අංක 01 පිහිටි කොරිඩෝව අසළ ද, අනෙක් පුද්ගලයා කාරක සභා කාමර අංක 05-06 පිහිටි ආලින්දයේ ද, රැඳී සිටිමින් මෙම කාර්යය සිදු කර ඇත.
මෙම ක්‍රියාව සම්බන්ධව නොසතුට පළ කළ ගරු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් එම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනා සතු ජංගම දුරකථන දෙක තම භාරයට ගෙන අනතුරුව, සභා ගර්භයට පැමිණ මෙම සිදුවීම සම්බන්ධව ප්‍රකාශයක් කළ අතර මෙම පුද්ගලයන් කවරහුද යන්න විමර්ෂණයක් කර, ඔවුන් බැහැරකිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අතර, අදාළ ජංගම දුරකථන දෙක වේත්‍රධාරි වෙත භාරදීමට කටයුතු කර ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සඳහා පැමිණෙන වාර්ෂික අවසර පත් හිමි, පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් බවට අනාවරණය වී ඇත. පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් හෝ වෙනත් ජනමාධ්‍යවේදීන් හෝ විසින් කාරක සභා රැස්වීම් අවසානයේ දී ගරු මන්ත්‍රීවරුන්ගේ හඬ ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධව වේත්‍රධාරිගේ අංක SA/E/02 දරන 2022-04-29 දිනැති උපදෙස් පත්‍රිකාව පාර්ලිමේන්තු පොලිසිය වෙත නිකුත් කර ඇති අතර එහි පිටපත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ විද්‍යුත් හා නව මාධ්‍ය සංසදයේ සභාපති/ ලේකම් වෙත ලබාදීමට ද, කටයුතු කර ඇත.
මෙම උපදෙස් මාලාවට අනුව, වේත්‍රධාරි විසින් නිකුත් කරන ලද, වාර්ෂික පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදී අවසර පත හා ජායාරූපය සහිත හැදුනුම් පත හිමි, පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් හට පමණක් එම හඬ ප්‍රකාශ ලබාගැනීම කළ හැකි අතර බිම් මහලේ ප්‍රධාන ආලින්දයේ වෛද්‍ය මධ්‍යස්ථානය හා පුස්තකාලය අතරතුර ප්‍රදේශය තුළ දී පමණක් එම කාර්යය සිදු කළ හැක. කාරක සභා කාමර හෝ කාරක සභා කාමර ආලින්දවල සිට එවැනි කාර්යයක් සිදු කිරීම සඳහා වේත්‍රධාරි විසින් නිකුත් කරන ලද, විශේෂ අවසර පතක් තිබිය යුතු වේ. මෙම අවස්ථාවේ දී, එවැනි විශේෂ අවසරයක් ලබාගෙන නොමැති බැවින් අදාළ ජනමාධ්‍යවේදීන් දෙදෙනා අනවසර ස්ථානයක සිට මෙම කාර්යය සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
දිවයින තුළ උද්ගත වත්මන් තත්ත්‍වය යටතේ තමන් නොහඳුනන පුද්ගලයන් විසින් එවැනි ස්ථානයක සිට, මෙවැනි කාර්යයක් සිදු කිරීමේ දී, ගරු මන්ත්‍රීවරුන් විශේෂ සංවේදීත්‍වයක් දැක්වීම නොවැළැක්විය හැකි කරුණකි. කෙසේ වුවද, මාගේ උපදෙස් පරිදි එදින පස්වරුවේ ජංගම දුරකථන දෙක අදාළ ජනමාධ්‍යවේදීන් දෙදෙනා වෙත ලබාදීමට වේත්‍රධාරි විසින් කටයුතු කර ඇත.
මින් ඉදිරියට ක්‍රියා කිරීමේ දී, පාර්ලිමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කිරීම මගින් මෙවැනි තත්ත්‍වයන් ඇතිවීම වළක්වාගැනීමට කටයුතු කරන ලෙස සියළුම පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙත දන්වනු කැමැත්තෙමි.''